ටයිටැනික් නෞකාවේ මගියෙකු වීම කෙබඳු අත්දැකීමක් වනු ඇතිදැයි යන්න සැබෑ ලෙසම විඳගැනීමේ අවස්ථාව චීනය විසින් උදාකර දෙමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව චීනයේ වින්දන උද්‍යානයක් විසින් මීට වසර ගණනාවකට පෙර සාගරයේ ගිලී ගිය දැවැන්ත ටයිටැනික් නෞකාවේ දැවැන්ත අනුරුවක් දැන් සිචුවාන් පළාතේ, ඩේයිං ප්‍රාන්තයේදී ඉදි කරමින් සිටියි.
"නොගිලෙන ටයිටැනික්" ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.
රොමැන්ඩිසියා වින්දන උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් ඉදිවන මෙම ටයිටැනික් අනුරුවට එහි භෝජන සංග්‍රහ ශාලා, සිනමාහල්, නිරීක්ෂණ තට්ටු සහ පිහිනුම් තටාකයක් ඇතුළුව එහි නමට සමාන සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණව ඉදිවෙයි.
පළාතේ අගනුවර වන චෙංඩු සිට කිලෝමීටර් 130ක් දුරින් සහ මුහුදේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි කිජියැං ගංගාවේ ජලාශයක ස්ථිරව තැන්පත් කෙරෙන මෙම නෞකාවේ රාත්‍රිය ගත කිරීම සඳහා අමුත්තන්ට අවස්ථාව පවතී.
මෙහි වැඩ අවසන් වන දිනයක් තවම ප්‍රකාශ කර නැතත්, ප්‍රංශ පුවත් සේවයට අනුව එය වානේ ටොන් 23,000ක් යොදා ගනිමින්, යුවාන් බිලියනයක් (ඇ.ඩො.මිලියන 153.5ක්) වැය කරමින් ඉදිවෙයි.
මුල් ටයිටැනික් නෞකාව එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට ඇමෙරිකාවේ නිව්යෝක් දක්වා 1912 අප්‍රේල් 10 වැනි දින සිය මංගල ගමනට යාත්‍රා කළේය. එකල එය ලොව විශාලතම මගී නෞකාව විය.
කෙසේ වෙතත් අප්‍රේල් 14 වැනි දින, මධ්‍යම රාත්රියේදී යෝධ අයිස් කුට්ටියක ගැටී පැය තුනකටත් අඩු කාලයකදී නෞකාව සම්පූර්ණයෙන්ම සාගරයේ ගිලී ගියේය.
ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය විසින් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 2,223 දෙනාගෙන්, 1,517කගේ දිවි අහිමි කළ අතර, 706 දෙනෙකුට පමණක් දිවි බේරාගැනීමට හැකි විය.