ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ වත්තල-මාබෝල නගර සභාවට අයත් පර්චස් 79 ක ඉඩමක් රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය අගෝස්තු 22 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව නැවත පවරාගැනීමට එම නගර සභාව කටයුතු කර තිබේ.
වත්තල-මාබෝල නගර සභාවට පවරා ගත් ඉඩම පර්චස් 79ක් ලෙස දක්වා තිබුණද ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු සොයා බැලීමේදී සම්පූර්ණ ඉඩම අක්කර 9ක් පමණ වන බව රජ්ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
මෙම අක්කර නමයෙන් අක්කර 3ක් පිළිබඳ නිවැරදි තොරතුරක් කිසිදු ස්ථානයක සඳහන් නොවන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇති බවද මෙහිදී තහවුරු විය.
මේ අනුව සම්පූර්ණ අක්කර 9 පිළිබඳ වත්තල-මාබෝල නගර සභාව සතු සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 දිනට පෙර රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දිය යුතු බවත්, ඉන්පසු දෙසැම්බර් 11 දිනට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලවා එම ඉඩම නිවැරදිව මැනීමට ලක් කොට ඒ පිළිබඳ වාර්තාවක් රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දිය යුතු බවත් මෙහිදී නියෝග කරන ලදි.
දැනට වගුරු බිමක් ලෙස නම් කොට තිබුණද මෙම ඉඩම වගුරු බිමක් නොවන බවත් ඉඩමේ තක්සේරු වටිනාකම වැඩිකර ගැනීම සඳහා එය ගොඩ ඉඩමක් ලෙස නම් කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කරන ලදි.
වත්තල-මාබෝල නගර සභාව වර්තමාන සභාපතිවරයාගේ කාලසීමාවත් ඇතුළුව දිගින් දිගටම නිසි ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඉඩම් බදු දීම නිසා දැවැන්ත මුදල් ප්රමාණයක් රජයට අහිමි වීම පිළිබඳ රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහිදී දැඩි අප්රසාදය මෙහිදී පළ කළේය.
වර්තමාන ඉඩම් බදු දීම පිළිබඳ තොරතුරු විමසීමට කාරක සභාව වෙත නගර සභාවේ සභාපතිවරයා කැඳවා තිබුණද රෝහල්ගත වූ බව දක්වමින් ඔහු නොපැමිණීම පිළිබඳව ද කමිටුව මෙහිදී දැඩි අප්රසාදය පළ කරන ලදි.