අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද රජමහා විහාර භූමියේදී ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළා යැයි කියන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතා අද (16දා) ඉවත් විය.
පෞද්ගලික හේතූවක් බව දැනුම් දෙමින් නවාස් මහතා එම නඩු විභාගයෙන් ඉවත් වු අතර නවාස් මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 20 වැනිදා මෙම නඩුව කැඳවීමටද නියම කෙරිණි.
මෙම නඩුවේ 02 සහ 03 වැනි වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට සිටි මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නඩුවෙන් මුදාහැරීමට පෙත්සම්කාර පාර්ශවය විරුද්ධත්වයක් නොදැක්වීම හේතූවෙන් එම නිලධාරීන් දෙදෙනා නඩුවෙන් මුදාහැරීමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිස අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කොට ඇතැයි කියමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එලෙස නියම කෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, මුලතිව් ප්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මුලතිව් පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, බොදුබල සේන සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
දෙමළ ජාතික සන්ධාන මන්ත්රීනී ස්කන්ධරාජා මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමේ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවති බවත් මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබු බවත් සඳහන් කොට ඇත.