ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල ගැටලුවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“කොරෝනා උවදුරත් සමග රජය ප්‍රකාශයට පත්කළා ලීසින් සහන ලබා දෙනවා කියලා. නමුත් මහ පොළෙවේ ලීසින් සහන ක්‍රියාත්මක වුණේ නෑ. මේ නිසා රටේ ලක්ෂ සංඛ්‍යාත ත්‍රි රෝද රථ රියදුරන්ගේ ත්‍රිරෝද රථ බලහත්කාරයෙන් ලීසින් කොම්පැණි පැහැර ගත්තා.
මේ ප්රශ්නය නිසා සුනිල් ජයවර්ධන මැතිතුමාට ජීවිතයත් අහිමිවෙලා තිබෙනවා. ඒ ලීසිං සහනය හරියාකාරව ප්‍රකාශ නොකිරීමයි. සුරංගනා ලෝකයෙක් පෙන්වූවා ත්‍රි රෝද රථ රියදුරන්ට දේශපාලන වාසි තකාගෙන.
නමුත් මේ දේශපාලන වාසි ලබාගැනීමේ සංස්කෘතිය තුළ ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ ගත්තාම පැහැරගැනීම්, පහරදීම්, මුදල් සොරා ගැනීම්, ඝාතන. ජාතික ආරක්ෂාවට මොකද වෙලා තියෙන්නේ.
ඒක බරපතල ගැටලුවක්. නායකයෙක් මෙහෙම අමු අමුවේ ඝාතනය කරන්න පුළුවන්ද? කෝ අපේ ජනතාවට තිබෙන ආරක්ෂාව. උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න බෑ ගුටිබැට දෙනවා.”
