මෙම මැතිවරණයේ දී ශෝචනියම ඉරණම අත් වුණේ ජවිපෙට බවත් දැවැන්ත වියදමක් කර රට පුරා පෝස්ටර් වලින් නහවපු ගාලු මුවදොර පිට්ටනිය පුරවලා පෙන්නපු ජවිපෙට ලැබුණේ ඡන්ද 3%ක් බවත් ඒ පිට්ටනියට ආපු අයගෙන් පවුල් පිටින් ඡන්දය දුන්න නම් ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා ඡන්දයක් ලැබෙන්නට අවශ්‍ය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (20) පොදුජන පෙරමුණේ පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,
“මෙම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වුණා නම් එක් එක් පක්ෂයට ලැබෙන මන්ත්‍රි ධූර ගණන මම ගණනය කළා. ජවිපෙ 5% සීමාව ඉක්මවා ගොස් මන්ත්‍රි ධූරයක් ලැබීමට ඉඩ ඇත්තේ හම්බන්තොට දී පමණයි. ඒත් යාන්තම් 6.2% පමණයි. ඒ ප්‍රතිශතය මන්ත්‍රි ධූරයක් ලබා ගැනීමට ප්‍රමාණවත් නෑ.
ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් ජවිපෙට හිමි වන්නේ එක මන්ත්‍රි ධූරයක් පමණයි. ඒ කියන්නේ ජවිපෙ පාර්ලිමේන්තු දේශපාලනය ආරම්භ කළ අවස්ථාවේ 1994 දී හිමි වුණු එක් මන්ත්‍රි ධූරයට අවුරුදු 25කට පස්සේ නැවත ගමන් කරනවා කියන එකයි.
ඒක දෛවයේ සරදමක් කියලයි හිතෙන්නේ. පසුගිය වසර පහ පුරා ජවිපෙ ඉටු කරන්නේ අගමැති රනිල්ගේ රට පාවා දෙන ඩීල් වලට ජවිපෙ සහාය ලබා දෙන බ්‍රෝකර් කමයි කියන චෝදනාව අනුර කුමාර මහතාට එල්ල වුණා. ඕනෑම ඩීල් එකක දී බ්‍රෝකර්ට ගෙවන 3% කොමිස් එක ජනතාව විසින් අනුර කුමාර මහතාට ලබා දීලා තිබෙනවා. එමඟින් ඔබ එජාපය සමග ඩීල් දැමීමේ බ්‍රෝකර්වරයාය කියන එක ජනතාව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට තවමත් ඡන්දය දෙන, රටට ආදරය අය සිටින නිසා අප ඒ පාක්ෂිකයන්ට කියනවා මේ මහා ප්‍රෝඩාව සාතිශය බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කළා. ඔබටත් මේ බ්‍රෝකර් ගාස්තුවෙන් කොටසක් ලැබෙන නිසා ජනතා විමුක්ති පෙරමුණ සමග ඉන්නවා නම් කමක් නැහැ. එහෙමම ඉන්න. රට හදන්න නම් රට රකින්න නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා අප ජවිපෙ සාමාජිකයන්ට ආදරණීය ඉල්ලීමක් කරනවා යනුවෙන් ” ඔහු වැඩිදුරටත් පැවසීය .
