ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ විදේශ අමාත්‍යාංශය එක්ව රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට සහ අපනයන කර්මාන්තයට කොවිඩ් -19 වසංගතයේ අයහපත් බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කරන බව විදේශ කටයුතු ආමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක් වූ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2020 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,090 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරි මාසවල දී එය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව අද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අපනයනකරුවන් විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීම සඳහා භෞතික වෙළඳ ප්‍රදර්ශන සඳහා විකල්ප මාර්ගයක් ලෙස අතථ්‍ය වෙළඳ සල්පිල් සහ වසර පුරා පැවැත්වෙන අතථ්‍ය සාප්පු සංකීර්ණවල ප්‍රදර්ශන පිළිබඳව සලකා බලනු ලබන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විදුලි හා ඉලෙක්ට්‍රොනික, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, මුද්‍රණ, බෝට්ටු සහ නැව් නිපදවීම, පොල්, පිඟන් මැටි සහ පෝසිලේන්, සැපයුම් සේවා සහ සැපයුම් දාම, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු සහ ආයුර්වේද සහ ශාකසාර නිෂ්පාදන අංශ සඳහා වෙබ්නාර් සාකච්ඡා මෙතෙක් සංවිධානය කර ඇති අතර, එමඟින් අවසාන වශයෙන් අතථ්‍ය ව්‍යාපාර-ව්‍යාපාර (B2B) රැස්වීම් සඳහා මඟ පෑදෙනු ඇත.
කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් මඟහරවා ගැනීමටත්, 2020 දී ඇමරිකානු ඩොලර් බිලියන 10.75 ක සංශෝධිත අපනයන ඉලක්කය සපුරා ගැනීමටත් මෙම පියවර ගෙන ඇති අතර, රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම සහ තාක්ෂණය උපයෝගී කර ගැනීම පිණිස අනෙකුත් දේශීය හවුල්කරුවන් මෙන්ම හවුල්කාර රටවල් සහ සංවිධාන සමඟ ද සමීපව කටයුතු කිරීම සඳහා තවදුරටත් පියවර ගනු ලැබේ.