ඔලිම්පික් උළෙලට මාස තුනකට පෙර යළිත් නැගීඑන කොවිඩ්-19 වසංගතය මැඬපැවැත්වීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටින ජපාන රජය, ටෝකියෝ ඇතුළු බටහිර ප්‍රාන්ත තුනක් වන ඔසාකා, කියෝතෝ සහ හයෝගෝ හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 25 සිට මැයි 11දා දක්වා නව හදිසි තත්ත්වය යටතේ රජය විසින් මත්පැන් අවන්හල්, බාර් සහ කැරෝකී මධ්‍යස්ථාන වසා දැමීමට ඉල්ලා සිටි අතර, විශාල ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විය යුතු බව දන්වා තිබේ.
"අපට මිනිසුන්ගේ සංචරණය සීමා කළ යුතු අතර, එය තීරණාත්මකව කළ යුතුයි. අපට බලවත්, කෙටි හා අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග අවශ්‍යයි. පසුගිය වසන්තය මතක තබාගෙන නිවසේ රැඳී සිටින්න. " එරට ආර්ථික අමාත්‍ය යසුතෝෂි නිෂිමුරා කියා සිටියේය.
වර්ග මීටර් 1,000ට වඩා විශාල වෙළෙඳ සැල් සහ වෙනත් වෙළෙඳ සැල්ද වසා දැමීමට ඉල්ලා සිටින අතර, මිනිසුන්ට නිවසේ සිට වැඩ කිරීමට වැඩි දීමනා ලබාදෙන ලෙසද සමාගම්වලින් ඉල්ලීම් කර තිබේ.
මෙම ප්‍රාන්ත හතර ජපානයේ ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන පළාත් ලෙස සැලකෙයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්තවලට අනුව, ජපානයේ දැනට ආසාදිතයන් 553,258 ක් සහ මරණ 9,778ක් වාර්තා කර ඇත.
නමුත් නවතම ආසාදන වැඩිවීම විකෘති ප්‍රභේදයක් පැතිර යාමෙන් හා සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟ වීමෙන් අනතුරු ඇඟවීමක් කර ඇති අතර, රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමද මෙයට බලපා තිබේ.
ටෝකියෝව බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 861 ක් වාර්තා කළ අතර එය ජනවාරි 29දා සිට වාර්තා වූ ඉහළම ආසාදිත අගයයි.. ඔසාකා ප්‍රාන්තයේ නව ආසාදන 1,167ක් වාර්තා වී තිබේ.