ජපානයේ ඉගැන්වීම් කටයුතු සඳහා සිසුන් යවන මුවාවෙන් කිසිදු ලියාපදිංචියකින් තොරව සිසුන්ගෙන් මුදල් අයකරගෙන අයකරගන්නා ආයතනයක් අනාවරණය කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට දින හැකිවී තිබේ.
කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් සහ පදිංචිකරුවෙකු දඹුල්ල නගර මධ්‍යයේ නිවසක් කුලියට ගෙන වියපත් ජපන් යුවලක්ද සේවයේ යොදවාගෙන ඉතා සූක්ෂම ලෙස ළමුන් රවටා ජපානයට අධ්‍යාපනයට වීසා ලබා දෙන බව පවසමින් ජාවාරමක් කරගෙන යන බවට ලද තොරතුරක් මත මෙම ස්ථානය පිළිබඳව සොයා බැලූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
මෙම පුද්ගලයන් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කුලී නිවාස වල වසර තුනක පමණ කාලයක සිට ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යමින් ජපන් භාෂාව ඉගැන්වීම් කටයුතු කරන මධ්‍යස්ථානයක් ලෙසත් අධ්‍යාපනික කටයුතු සඳහා සිසුන් ජපානයට යවන බව පවසා මුදල් ලබා ගැනීමද එමෙන්ම ඒ සඳහා වීසා ලබා ගැනීමට ව්‍යාජ ලිපි ලේඛන සකසා වෙනත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සිසුන්ගේ ගිණුම්වලට පෙන්වන මුවාවෙන් මුදල් ලබා ගැනීම් රැසක් සිදුවන බව තමාට ජනතාව දැනුම්දුන් බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.
ඒ අනුව දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ දඹුල්ල පොලිසියේ නිලධාරීන්ට දැනුම් දී මෙම ස්ථානය පිළිබඳව සොයා බැලීමට ගිය බවත් එය දඹුල්ල නගරයේ සිල්වා මාවත ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය බවත් නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.
ජපන් ඉගැන්වීම සඳහා වයස අවුරුදු අසූ තුනක් පමණ වූ යුවලක් මෙම ස්ථානයේ රැඳී සිටින බවත් තමන් මෙම ස්ථානයට යන අවස්ථාවේ ව්‍යාපාරය පවත්වාගෙන යන බව සැක කරන පිරිමි පුද්ගලයා නොසිටි අතර කාන්තාව සහ ජපන් ජාතික වියපත් යුවල සිටි බවත් නගරාධිපති වරයා සඳහන් කළේ ය.
ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සඳහා සිදු කළ යුතු කිසිදු ලේඛනයක් නොමැති බවත් නගර සභාවේ හෝ තම ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයාගේ හෝ අවධානයකින් තොරව මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන බව ද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී යැයි නගරධිපතිවරයා සඳහන් කළේය.
උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යැවීම සඳහා එක් සිසුවෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සේ සිට ඉහලට මුදල් අය කරන බවත් ලියකියවිලි තනා ගැනීම සඳහා බව පවසමින් එක සිසුවෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ තුන හතර දක්වා ආදී මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වලට දමා ගෙන ඇති බව ද නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.
මෙම ස්ථානයේ පැය කිහිපයක් ගත කළ ද අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යන පිරිමි පුද්ගලයා නොපැමිණි බවත් ඉන් පසුව නාගරික කොමසාරිස් වරයා සහ තමන් විසින් මෙම නීතිවිරෝධී ස්ථානය පිළිබඳව දඹුල්ල පොලිසියට ලිඛිත හා වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද නගරධිපති ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.