2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.
මෙම විමර්ශන නැවතී ඇති බවට පළ වන වර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
“2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් කර ගනිමින් ජනාධිපති කාර්යාලයට ලබාදීමක් සම්බන්ධයෙන් දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නැමැත්තෙක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු 2016 මැයි මස 09 වන දින පොලිස් විශේෂ විමර්ශන ඒකකය විභාගයක් ආරම්භ කළා.
ඒ විමර්ශනයට අනුව 2014 දෙසැම්බර් 01 දින සිට 2015 ජනවාරි 08 දින දක්වා කාලය තුළ චෙක්පත් 82 ක් මගින් රුපියල් මිලියන 1398 ක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබාදී ඇති බව අනාවරණය වී තියෙනවා.
චයිනා හාබර් ආයතනයේ චෙක්පත් ද මෙයට ඇතුළත් වෙනවා. මේ පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය, ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට එවා තිබෙනවා. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු කර ගෙන යනවා. ඒ විමර්ශන කොතැනකවත් නතර කර නැහැ.
2015 දී මේ ගැන විභාග කරන ලෙස ඉල්ලමින් මහ බැංකුව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් චෙක්පතක් රහස් පොලිසියට එවා තිබෙනවා. ඒ අනුව රහස් පොලිසිය මේ පිළිබඳව තවමත් විභාග කරමින් සිටිනවා. ඒ සම්බන්ධව සමහර සාක්ෂි තිබෙනවා. තවත් සමහර සාක්ෂි ලැබී නැහැ. මේ කිසිදු පරීක්ෂණයක් නතර කර නැහැ.”