ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කරනුයේ ජනවරම අනුව ආණ්ඩුව නිසි මග රැගෙන යාමට කටයුතු කිරීමට මිස ආණ්ඩුවේ අපාය සහය මිත්‍රයන් නිසා නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
2022 අය වැය දෙවන වර කිය වීම පිළිබඳ සිව්වන දිනටත් අද (17දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විපක්ෂයට මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් වලට ආණ්ඩුව සමග ගැටුම් තිබීමට හැකි බවත් එසේ වුවද මුලු මහත් සමාජයම නැවත කෝවිඩ් 19 වසංගතයට ඇද වැට්ටවීම සිදු නොකල යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මේ අතර කාබනික ගොවිතැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සත්භාවයයෙන් හදුන්වාදුන්නද සත්භාවය පමණක් ප්‍රමාණවත් නොවන බවත් මෙය ජනාධිපතිවරයාට අභියෝග කිරීමක් නොවන බවත් සඳහන් කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා,
”නිදහසින් පසු 2015 වනතෙක් මේ රට ණය වුනේ ඩොලර් බිලියන 07යි නම් පසුගිය අවුරුදු හතරහමාර ඇතුලත පසුගිය ආණ්ඩුව කාලයේ මේක දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට වැඩි කළා. එහෙම කරපු කට්ටියක් දෙන්න අපිට කරලා පෙන්වන්නම් කියලා කියනකොට රටේ මහජනයා කල්පනා කරනවා කොහෙන්ද හිනා වෙන්නේ කියලා.
අපි හැමොම පුරුදු වු ණ සෙල්ලමක් තිබෙනවා. ඒ දේශපාලන සෙල්ලම කරන්න පුලුවන් කාලයක් තිබෙනවා. දැන් අපි මුහුණ දීලා ඉන්නේ එහෙම කාලයකට නෙවෙයි. අපි පිළිගන්න ඕන පරණ දේශපාලන සූදුවෙන් මේකට මුහුණ දෙන්න බෑ. ඒ නිසා අපිට අලුතින් කල්පනා කරන්න සිදු වෙලා තිබෙනවා.
අද අපේ ගොවිතැන පිළිබඳ විශාල සංවාදයක් ඇති වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තයට කාබනික ගොවිතැන හඳුන්වාදෙන්න කටයුතු කළේ සත්භාවයෙන් කියලා අපි දන්නවා. නමුත් සත්භාවය පමණක් මේකෙදී ප්‍රමාණවත් වෙන්නේ නෑ. මෙතන මොකක්ද වරද්දවා ගැනීමක් තිබෙනවා.
කාබනික කෘෂිකර්මාන්තය වෙනුවට මේක ස්වාභාවික කෘෂිකර්මාන්තය ලෙස තේරුම් ගන්න ඕන. සමාගම් මාෆියාවට ඉඩ ලබා දුන්නා. වගා මහත්මයා ඉවත් කළා. රසායනික පොහොර සමාගම් කාරයන්ට සම්පූර්ණ බලය දුන්නා. ඒක විසින් මේ රටේ විනාශයක් වුනා. මේ විනාශය නවත්වන්න එකපාර කාබනික පොහොර වලට ගියාට බෑ.
විනාශය වැලැක්වීමට යන්න ඕන ස්වාභාවික ගොවිතැනකට යන එක. ස්වාභාවික ගොවිතැනේදී රසායනික පොහොරෙන් නම් ඒ ප්රශ්නය විසඳන්න පුලුවන් ඒකට ඉඩ තිබෙන්නත් ඕන, කාබනික පොහොරෙන් නම් ඒ ප්රශ්නය විසඳන්න පුලුවන් ඒකට ඉඩ තිබෙන්නත් ඕන. මේක ජනාධිපතිතුමාගේ සද්භාවයට අභියෝග කිරීමක් නෙවෙයි.
අද නව යතාර්ථයක් තිබෙනවා. ඒ නව යතාර්ථය තුල අපිට ජීවත් වෙන්න වෙලා තිබෙනවා. ඒක තේරුම් ගන්නේ නැතිව තමුන්නාන්සේලා 2000-3000ක් ගෙනත් පොඩි පෙලපාලියක් ගෙනාවා. ඒකේ හරිම අපූරුව කියන්නේ කට්ටිය ඉන්නවා කිටි කිටියේ ලංවෙලා. ඒත් මාස්ක් එකක් දාගෙන. නව යතාර්ථය තුල අලුතින් විරෝධතා පවත්වන විදිය හොයන්න. පරණ සම්ප්‍රධායක මැටිමෝල් ක්රමයම භාවිතා කරන්න එපා.
පවතින ආණ්ඩුව සමග තමුන්නාන්සේලාට ගැටුම් ඇති. අපටත් තිබෙන්න පුලුවන්. ඒ මොනවා තිබුණත් මේ රට සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව සහ මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උදව් වෙන එක අපි කාගෙත් යුතුකමක්.
අපි මේ මුහුණත් එක්ක තරහා වෙලා නහය කපා ගත යුතු නෑ. ආණ්ඩුවත් සමග තිබෙන තරහට මුලු මහත් සමාජයම නැවත කෝවිඩ් 19 පිරිලා ඉතිරිලා යන තැනට ඇද වැට්ටිය යුතු නෑ. අපි මේ ආණ්ඩුවේ අපාය සහයක මිත්‍රයෝ නෙවෙයි. අපිට ඕන ආණ්ඩුව නිසි මග ජනතාවට හිතකරව රැගෙන යන්න මිසක් ආණ්ඩුවෙන් ලැබුණු ජනවරමට පටහැනි දෙයක් සිදු වීම බලාගෙන සිටීම නෙවෙයි." යනුවෙන්ද සඳහන් කළේය.
