ජනපතිට තායිලන්ත සංචාරයකට ආරාධනා
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.
දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් හුවමාරු කර ගැනීමද මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සිදු විය.
මෙම ගිවිසුම දෙරටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට ද මහත් පිටුවහලක් වනු ඇති බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය සූදානම් බවත්, ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කළහැකි බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. තම රටේ පුරවැසියන්ට සලකන ආකාරයෙන්ම විදේශීය ශ්‍රමිකයන්ට ද සලකන බව අවධාරණය කළ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර නොගත යුතු බව ද සඳහන් කළේය.
ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙසද, මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද ආරාධනා කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
