මීළඟ ජනපතිවරණය ප්‍රකාශ කළ හැකි ආසන්නතම දිනය සැප්තැම්බර් 07 දා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (07දා) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මීළඟ ජනාධිපතිවරණය කවදාද කියන කාරණය ඔන්න ආයේමත් විවාදයකට තුඩු දීලා. ඒ ගැන ජනාධිපතිතුමාට දෙගිඩියාවක් ඇති වෙලා. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අසන්න යන බවට ලොකු රාවයක් පැතිරෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක්. 2005 දී අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කළේ ජනාධිපතිවරයා දිවුරුම් දුන් දින සිට සිය ධූර කාලය පටන් ගන්නා බවයි.
වත්මන් ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 09 දා නිසා එතුමාගේ ධූර කාලය එදා සිට වසර පහකින් එනම් 2020 ජනවාරි 09 දා අවසන් වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි කාලයක් තුළ ඊ ළඟ ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. ඒ කියන්නේ 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ.
1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගන්නා දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනෑ. එහෙම නම් ප්‍රමාදම දවස වන දෙසැම්බර් 09 සිට සති හතරක් කියන්නේ නොවැම්බර් 11දා. ආසන්නතම දවස බලන්න නොවැම්බර් 09 සිට සති හයක් කියන්නේ 2019 සැප්තැම්බර් 28.
ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16කට නොඅඩු දින 21කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනෑ.
දැන් අපි දන්නවා නාමයෝජනා දිනය 2019 සැප්තැම්බර් 28ත් නොවැම්බර් 11ත් අතර තිබෙන්නේ. එහෙම නම් ඡන්දය ප්‍රකාශ කරන දවස දැන් ගණනය කරමු. සැප්තැම්බර් 28 සිට දින 21ක් කියන්නේ සැප්තැම්බර් 07දා. නොවැම්බර් 11 සිට දින 16ක් කියන්නේ ඔක්තෝම්බර් 26දා.
ඒ අනුව ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනතරම් සිහින මැව්වත් 2019 සැප්තැම්බර් 07 සහ ඔක්තෝම්බර් 26 අතර මැතිවරණ කොමිසම විසින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනෑ.
අද අපි ඉන්නේ ජූලි 7. ජනපතිවරණය ප්‍රකාශ කළ හැකි ආසන්නතම දවස වන සැප්තැම්බර් 07ට අද සිට තිබෙන්නේ හරියටම මාස දෙකයි. ජනපතිවරණ දින වකවානු ගැන විවිධ අදහස් පළ කරන මැකොතුමාටත් මේ පිළිබඳ අවධානය යොමු වේවා! මේ ආණ්ඩුවෙන් තැලෙමින් පෙලෙමින් සිටින ජනතාවටත් කලකට පස්සේ සුභ ආරංචියක් ලෙස අප එය දැනුම් දෙනවා.”