ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුණේ දැයි ප්‍රශ්න කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයිද ඔහු පැවැසීය.
අද (12දා) ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. මැයි මාසයෙන් පස්සේ තමයි ලංකාවට ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් හිමිවුණේ. එතෙක් කල් සිටියේ ඇමරිකානු පුරවැසිභාවයක් සහිත ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඔප්පු කරන්න කියලා නඩුවක් ගොනු කළා.
ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවීමේ නිවේදනය නිකුත් වුනේ 2020 පළමු කාර්තුවේදීයි. 2019 වසරේ අවසන් කාර්තුවේදී වත් ඔහුගේ නම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වුනේ නැද්ද කියන ප්රශ්නය අපි යොමු කරනවා. එහෙමනම් මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා.
මෙතැනදි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවාද කියන ප්රශ්නය අපිට අහන්න වෙනවා. පුරවැසිභාවය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහට අදාළ වූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ වෙන්නේ නැද්ද කියන ප්රශ්නය අපිට අහන්න වෙනවා.
ගීතා කුමාරසිංහත් පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඉල්ලා තිබුණා. නමුත් නාම යෝජනා භාරදෙන අවස්ථාව වන විටත් ඇයගේ ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ඉවත් කර තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය කෝවෝ වොරොන්ටෝ ආඥාවක් මගින් අහෝසි කරනු ලැබුවේ. මේ ආකාරයට බලන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය නිසි ලෙස සම්පූර්ණ කර තිබුණේ නෑ. එදා ගීතා කුමාරසිංහට අදාල වූ නීතිය අද ගෝඨාභය රාජපක්ෂට අදාල නොවන්නේ ඇයි?” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.