2019 වසරේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, එක්සත් ජාතික පෙරමුණ දැනට සමාජයේ කථාබහට ලක්වන අපේක්ෂකයින්ගෙන් ජයග්රාහි අපේක්ෂකයා මැතිවරණයට ඉදිරිපත් කිරීමටත්, ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සුදානම් බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීම සදහා අද (04) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවැසීය.
මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. මට එරෙහිව චෝදනා කරමින් සකස් කළ චෝදනා පත්‍රයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට ලබාදෙනවා. දේශපාලනඥයින් පිටුපස යන සංගමයක් බවට ඔවුන් පත්ව තිබෙනවා. මමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 14ක් පුරා වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරත වුවත්, දේශපාලනඥයින් පිටුපස යන තත්ත්වයක් අපට තිබුනේ නැහැ. අපි දේශපාලනඥයින් සමග මිත්රශීලීව වැඩ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළා.
නමුත් වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් ලෙසත්, ත්රස්තවාදීන් මෙන් කටයුතු කරන බවත්, මම කියන්න කැමැතියි. මෙමඟින් සිදු වන්නේ අහිංසක රෝගීන් අපහසුතාවයට පත්වීමයි. වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවූවා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තවත් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. ඉල්ලීම් ඉටු කළා.
නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම සියලු වරප්‍රසාද ලබාගනිමින් කීර්තිමත් සංගමයක් අවභාවිතයට ලක් කරමින් දේශපාලන ව්‍යාපාරයක නිරත වෙනවා. අද ඔවුන් වෘත්තීය ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. එම සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රසිද්ධියේ විහාරාධිපති හිමිනමකට බනිනවා. ඊට ගම්වාසීන් විරෝධය පළ කරනවා. මාධ්‍ය හමුවේ මෙම වෛද්‍යවරයා හාමුදුරුවන්ට කථා කරන්නේ පහත් භාෂාවෙන්. මෙවැනි වෛද්‍යවරුන් සංගමයට සුදුසු ද, ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් රෝහල් භූමිය සටන් බිමක් බවට පත් කරගෙන හරියට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වගේ. එම වෛද්‍යවරුන් පෝස්ටර් ඇලවීමට, විරෝධතා පැවැත්වීමට තමයි කටයුතු කරන්නේ. යහපාලන රජය ලබාදුන් නිදහස වැරදි විදිහට භුක්ති විදිනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දැක්වීය.