ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට නොසලකා ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ගිවිස ගන්නා අපෙක්ෂකයෙකුට සහාය දැක්වීම සඳහා දමිල ප්රගතිශීලී සන්ධානය සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , දමිළ ප්රගතිශීලි සන්ධානයේ උපසභාපති සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශයේ නායක ඒ. අරවින්ද කුමාර් මහතා පවසයි.
අද (23) බදුල්ලේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය .
සමාජ ක්‍රියාකාරීන් පිරිසකට මුළු රටටම බලපාන අයුරින් සාමදාන විනිශ්චයකාර වරුන් ලෙස පත්කීරීමට අදාළ ලිපි ප්රදානය කිරීම සඳහා බදුල්ල සෙනරත් පරණවිතාන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වූ අරවින්ද කුමාර් මහතා ඉක්බිති පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ කීවේය .
කඳුරට නව ගම්මාන ,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළනි දිගම්බරන්ගේ ජාතික කම්කරු සන්ධානය , ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතාන්ත්‍රික කම්කරු පෙරමුණ සහ තමා නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් සමන්විත දමිළ ප්රගතිශීලි සන්ධානය ජනාධිපති ඉදිරියේදී ජනාධිපති වරණයට ඉදරිපත්වන අපෙක්ෂකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් ඔවුන් දක්වන ප්‍රතිචාර අනුව ජනාධිපතිවරණයේදි සහාය දෙන්නේ කාටදැයි තීරණය කරන බවත් ඔහු අවධාරණය කළේය .
වතු කම්කරු දෛනික වැටුප වැඩිවීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළත් රටේ උද්ගතව ඇති තත්ත්වය මත එය පමාවි ඇතැයිද අරවින්ද කුමාර් මහතා පැවසීය .
ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර පවතින විරසකය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූවිට අරවින්ද කුමාර් මහතා සඳහන් කළේ එය නොවිය යුත්තක් බවයි .
පසුගිය දිනයන්හී ඇතිවූ විරසකය ක්‍රමයෙන් හීනවි යන බව සඳහන් කළ ඔහු රටට මහා විපතක් සිදුවී ජාත්‍යන්තර වශයෙන්ද ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයට තුඩුදී තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයා හා අගමැතිවරයා පුද්ගලික ප්‍රශ්න අමතක කර රට වෙනුවෙන් එක්වී රටේ සාමය හා ස්ථාවර භාවය සනාථ කළ යුතු බවද අවධාරණය කළේය .
බදුල්ල - පාලිත ආරියවංශ