ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම පිළිබඳ පොලිස් ස්ථානවලට දිනකට පැමිණිලි අටසියයත් - දහසත් අතර ප්‍රමාණයක් ලැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ලංකාව තුළ මිලියන විසිහතරකට අධික ජංගම දුරකථන ප්‍රමාණයක් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
දුරකථන අස්ථානගත වීම හා සොරාගැනීම පිළිබඳ ක්ෂණිකව පැමිණිලි කළ හැකි වෙබ් අඩවියක් ඊයේ (11දා) සිට ක්‍රියාත්මක බවද ඔහු පවසා සිටියේය. www.ineed.police.lk වෙබ් අඩවිය හරහා පැමිණිලි කළ හැකි බවත්, මේ හරහා ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථානය වෙතත්, විදුලි සංදේශ නියාමන කොමිසම වෙතත් අදාළ දුරකථන සමාගම වෙතත් යොමු කරන බවද ඒ මහතා කියා සිටියේය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම සේවාව පොලිස් මූලස්ථානය හරහා ක්‍රියාත්මක වේ.