ජෝ බයිඩන් වැරදිසහගත ලෙස ජනපති ධුරය ඉල්ලා නොසිටිය යුතු අතර, තමාටද එසේ ප්‍රකාශ කළ හැකි බවත්, මේ මොහොතේ නීතිමය කටයුතු ඇරඹී ඇති බැවින් එතෙක් සිටිය යුතු බවත් ඇමෙරිකානු ජනපති හා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොලන්ඩ් ට්‍රම්ප් කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිශතය අභිභවමින් ජෝ බයිඩන් ඉදිරියට පැමිණි පසුබිමක ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කර තිබේ. කෙසේ වෙතත් ආසන්න දිනයේ ප්‍රසිද්ධියේ තවම පෙනී නොසිටි ට්‍රම්ප්, තවමත් තම ට්විටර් ගිණුම සක්‍රීයව තබාගෙන මැතිවරණ ප්‍රතිඵලය ගැන විටින් විට අදහස් පළ කරමින් සිටියි.
ඒ අනුව ඔහු ආසන්නතම ට්විටර් පණිවුඩවල දැක්වුණේ මෙවැනි ප්රකාශයන්ය.
"පසුගිය දින දෙක තුන තුළ මෙම සංඛ්‍යා මේ ආකාරයෙන් ඉහළ ගියේ කෙසේද යන්න පිළිබඳව අපට පැහැදිලි කිරීමක් අවශ්‍යයි" ට්‍රම්ප්ගේ නීතීඥයෙකු වන මැතිව් විටේකර් උපුටා දක්වමින් ට්‍රම්ප් මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණි.
"මැතිවරණ රාත්‍රිය දක්වාම මේ සෑම ප්‍රාන්තයකම මම විශාල ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියා. නමුත් දින ගෙවීයත්ම ඒ සංඛ්‍යා අරුම පුදුම ලෙස අතුරුදන් වී තිබෙනවා. අපගේ නීතිමය කටයුතු ඉදිරියට යනවිට ඒ අප ලැබූ ජයග්‍රහණය නැවත අපට ලැබෙනු ඇති!" ට්‍රම්ප් තවත් ට්විටර් පණිවුඩයකින් කියා තිබුණි.
"ජෝ බයිඩන් වැරදිසහගත ලෙස ජනාධිපති ධුරය ඉල්ලා නොසිටිය යුතුයි. මටත් ඒ ප්‍රකාශය කරන්න පුළුවන්. නීතිමය කටයුතු දැන් ආරම්භ වෙමින් තිබෙනවා!" ඔහුගේ තවත් පණිවුඩයක විණි.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් තවමත් සිය පසුබෑම පිළිගැනීමට අකමැති අතර, ඔහු පවසන්නේ තැපැල් ඡන්ද හා පූර්ව ප්‍රකාශ කළ ඡන්දවලින් මැතිවරණ දූෂණයක් සිදුව ඇති බවය.
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත්වී ජෝ බයිඩන් ජයග්‍රහණය කළද, මෙවර ඇමෙරිකානු මැතිවරණයේ කිසිදු ජයග්‍රාහකයෙකු නොමැති බව විචාරකයෝ පවසති. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය නමැති ලෝකයේ බලවත් රාජ්‍යය, ගෝලීයව මෙතෙක් කලක් හිමි කරගෙන තිබූ විශ්වසනීයත්වය මේ වනවිට ලෝකය ඉදිරියේ නිරුවත් වෙමින් පවතින බැවිනි. සිය රට තුළින්ම එය ප්‍රශ්න කිරීමකට ලක්වන බැවිනි.