උතුම් වූ හෙද සේවයේ යෙදෙන ලොව පුරා හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර හෙද දිනය අද(12) යෙදි තිබේ.
හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින අයුරින් ක්‍රමවත් ආකාරයට ක්‍රමවත් හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස් නයිටිංගේල්" මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අප රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නිරතුරුව කැපවෙන හෙද හෙදියන් ද ජාත්‍යන්තර හෙද දිනය සැමරීමට කටයුතු කිරීම පිළිබදව සතුටට පත්වන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් මෙම වර්ෂය සදහා සුවිශේෂි තේමාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර “ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගා සිටුවීම සදහා හෙදියන් ලෙස හඩ නගමු” යන්න මෙවර තේමාව වේ.
වර්තමානයේ COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේ දී ලොව විශාලම සෞඛ්‍ය බලකාය වන හෙද හෙදියන්ගේ දායකත්වය සුළු පටු නොවේ. අප රට තුළ ද COVID-19 වසංගත ප්‍රතිකාර කටයුතු තුල තම ජිවිතය, දරු දැරියන්, දෙමාපියන් ගැන ද නොසිතා වෛරසය ආසාදිත මිනිස් ජිවිත ආරක්ෂා කර ගැනීමට, වෛරසය සමාජගතවීම වැළැක්වීමට, පරීක්ෂණ කටයුතු සදහා හෙද හෙදියන් විසින් මහගු සේවාවක්, දායකත්වයක් සපයනු ලැබේ.
COVID-19 වසංගත තත්ත්වයේ දී අන් රටවල හෙද හෙදියන් තම සේවාවෙන් ඉවත්ව යන විට අප රටේ හෙද හෙදියන් මුළු ලොවටම මහත් වූ ආදර්ශයන් එක් කරනු ලැබුයේ අප රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති මානුෂිය ගති පැවැතුම් ද ඉහළට ඔසවා තබමිනි. ජාතික හා අන්තර්ජාතික වශයෙන් ද අපගේ හෙද හෙදියන්ට ඇත්තේ ද ඉහළ පිළිගැනීමක් බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය පණිවිඩයෙන් සඳහන් කරයි.