චීනයේ සිට මෙරටට රැගෙන ආ කන්ටේනරයක සිට හමුව ඇත්තේ ශ්‍රී ලංකාවේදී සුලබව දක්නට ලැබෙන Varanus bengalensis යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තලගොයි විශේෂයට අයත් තලගොයි පැටවකු වන බවට උරග හා උභයජීවී පදනමේ සභාපති, ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.
කෙසේවුවද මෙම තලගොයි පැටවා ශ්‍රී ලංකාවේදී විදේශයකදී අදාළ කන්ටේනරයට පැමිණියාද නැතහොත් ශ්‍රී ලංකාවේදී ඊට එක්වූවාදැයි නිශ්චිතව තවමත් කිව නොහැකි බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥවරයා,
"විදේශයෙන් ගෙන්වන ලද භාණ්ඩ කන්ටේනරයක සිටයි මේ තලගොයි පැටවා හමුව ඇත්තේ. මට ලැබුණු තොරතුරු අනුව ඒ කන්ටේනර් එක විවෘත කර තිබිලා තියෙනවා. මේ සතා ලංකාවේ ඉන්න තලගොයාම තමයි.
නමුත් ගැටලු කිහිපයක් තිබෙනවා. අපේ රටේ සිටින තලගොයා බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, භුතානය, මියන්මාරය යන රටවල්වලත් ව්‍යාප්තව සිටිනවා. එතකොට මේ සතා ඒ පැත්තක ඉඳලා ආවද නැත්නම් මෙහේ ඉන්න සතෙක්ම කන්ටේනරය තුලට රිංගා ගියාද යන්න අපි දන්නේ නෑ. නමුත් පිටින් බැලුවාම ලංකාවේ තලගොයාම තමයි.
ලංකාවේ අපිට විශේෂ දෙකක් ඉන්නවා කබරගොයා සහ තලගොයා කියලා. තලගොයා සහ කබරගොයා වෙන්කර හඳුනා ගත හැකියි, බැලු බැල්මටම කබරගොයාගේ හිසේ පැති පෙනුම ගතහොත් හිස ගොඩක් දිගයි. තලගොයාගේ හිස කබරගොයාට සාපේක්ෂව දිග නෑ.
කබරගොයින් වතුර ආශ්රිත ප්‍රදේශවල ඉන්නවා. එහිදී ඌට වතුරේ පිහිනාගෙන යාමට උගේ නාස්පුඩු හොම්බේ ඉදිරි කෙළවර තමයි පිහිටන්නේ. ඊට හේතුව තමයි වතුරේ පිහිනා යෑමේදී උගේ හොම්බ ටිකක් උඩින් තියාගෙන නාසය හරහා වතුර යෑමකින් තොරව පිහිනිය හැකි වීම. තලගොයා ගොඩබිමට අනුවර්තනය වූවෙක්. ඒ අය සතුන් හොයන්න පොළොව හාරන නිසා තලගොයාගේ නාසය කබරගොයාට සාපේක්ෂව ඇස පැත්තට වෙන්නයි පිහිටා තිබෙන්නේ.
කෙහොම වුණත් කන්ටේනරයේ සිට හමුවූ මේ සතා ලංකාවේ එකෙක්ද එසේ නොමැති නම් වෙනත් රටකින් මෙහේට ආවද කියන එක බැලූ බැල්මට මෙහෙම නිගමනය කරන්න බැහැ. ඒකට නිදර්ශක පරීක්ෂා කරන්න අවශ්‍යයි. එසේ නොමැති නම් දැනට අපේ තියෙන දත්ත එක්ක සංසන්දනය කර බලන්න අවශ්‍යයි. ඊට අමතරව මෙහි විශේෂ දෙයක් මම දකින්නේ නෑ" යැයිද පවසා සිටියේය.
චීනයේ සිට මෙරටට රැගෙන ආ කන්ටේනරයක සිටි තලගොයෙකු හැඩයෙන් යුත් සතෙකු වනජීවී නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙනතිබිණි.
ඒකල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් කර්මාන්ත ශාලාවකට රැගෙන ආ කන්ටේනරයක් තුළ මෙම සත්ත්වයා සිට තිබෙන අතර ඒ පිළිබඳව වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබීමෙන් පසු මුතුරාජවෙල අඩවි භාරයට ගෙන ඇත.
මෙම සත්ත්වයා පිළිබඳ ප්‍රදේශය භාර බස්නාහිර පළාත් වනජීවී සහකාර අධ්යක්ෂ නීතිඥ ලලිත් වික්‍රමආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඒකල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් ලද තොරතුරක් අනුව අදාළ ස්ථානයට ගොස් කබරයෙකුට සමාන එම සත්ත්වයා සිය භාරයට ගත් බවයි.
නිදර්ශනී වික්‍රමසිංහ/ඉන්දික හේවාවිතාරණ/යටියන්තොට - සමන් එස්. රත්නායක