දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවළු සහ පලතුරු හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලින්ට ආහාර සඳහා රැගෙන යෑමට අද (22දා) වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පියවර ගත්තේය.
ඒ අනුව අද (22දා) අලුයම තුනට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවළු සහ පලතුරු වනජීවී දෙපාර්තමේන්තුවේ වාහනවලට පැටවීමට කටයුතු කළේය.
දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි. නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙකු සමග එක්ව ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු සියල්ල ලොරි රථවලට පැටවූහ.
මෙම එළවළු සහ පලතුරුවල ඇති පොලිතින් සහ අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අලින් ආහාර ගන්නා එළවළු සහ පලතුරු පමණක් ලොරි රථවලට පැටවීය.
දැනට හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනුයේ රටේ විවිධ ස්ථානවල ගැවසුණු දරුණු ගණයේ වනඅලින් බවත්, එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් එම සතුන් මෙල්ල කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය.
හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලිවැට කඩා වනඅලින් පලා යෑම මෙමගින් අවම කරගත හැකි බවත්, වනජීවී දෙපාර්තමේන්තුව මගින් දිගින් දිගටම වනඅලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
තමන් අලුයම 1.00ට පමණ හොරොව්පොතාන සිට දඹුල්ලට පැමිණීමට පිටත් වූ බවත්, නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊට පෙර දින තමන් පැමිණෙන බව දැනුම් දී මෙලෙස පැමිණි බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, වනඅලින්ට සුදුසු ආහාර රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන බවට තමන් පෞද්ගලිකව දැන සිටි බැවින් මෙම එළවළු හා පලතුරු රැගෙන යෑම සඳහා පැමිණි බවද පැවසීය.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ දෙකකට එළවළු සහ පලතුරු පැටවූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් ගන්නා කැබ් රථය පිටුපසටද එළවළු සහ පලතුරු පටවා ගැනීමද විශේෂත්වයකි.





එස්. කරුණාරත්න