කොවිඩ්-19 වසංගතය හමුවේ එන්නත්කරණය වේගවත් කිරීම සඳහා නව එන්නත්කරණ බස් රථයක් අප්‍රේල් මාසයේදී බීජිං සහ උතුරු හෙබෙයි පළාතේ සේවයට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වාහනය පිටතින් එය සාමාන්‍ය බස් රථයකට වඩා වෙනස් නොවන නමුත් එන්නත්කරණය සඳහා අවශ්‍ය සියලුම අංග මෙම බස් රථයට ඇතුළත් වෙයි. එහිදී එන්නත ලබාගැනීමට පැමිණෙන අය ලියාපදිංචි කිරීම සහ එන්නත් කිරීම මෙන්ම එන්නත් ගබඩා කිරීම සඳහා විශේෂිත ශීතකරණයක්ද බස් රථය සතුය.
ඒ අනුව ඉදිරියේදී නියම කරන ලද එන්නත් කරන ස්ථාන වෙත යාමේ කරදරයෙන් මිදී, චීන ජාතිකයන්ට එන්නත ලබාගැනීමට අවශ්‍ය ස්ථානය වෙත මෙම බස් රථය ගමන් කරනු ඇති බව කියයි.
මෙම බස් රථයට ඇතුළු වී පොරොත්තු ස්ථානයට යාමට පෙර විශේෂ උපකරණයක් මගින් ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුවන අතර, පසුව ඔවුන් ලියාපදිංචි වීමෙන් පසු එන්නත ලබාගෙන බස් රථයෙන් පිටත නිරීක්ෂණ ස්ථානයක මදක් රැඳී සිටිය යුතුය.
එන්නත්කරණය අතරතුර තථ්‍ය කාලීන දත්ත සම්ප්‍රේෂණය කළ යුතු නිසා මෙම බස් රථය විශේෂයෙන් වයිෆයි සම්බන්ධතාවයකින් යුතු වන අතර, එය වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය සහතික කිරීම සඳහා 5G ජාලයට සම්බන්ධ කළ හැකි බව කියයි. ඒ නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය දුරස්ථව සිටියද ඩිජිටල් කළමනාකරණයකට ලක්වන අතර, සමස්ත ක්‍රියාවලියම වාර්තාගත වෙයි.
විශේෂයෙන්ම දුරබැහැර ප්‍රදේශවල සිටින ජනතාවට වඩාත් පහසුවෙන් හා ඵලදායීව එන්නත ලබාගැනීම සඳහා මෙය කදිම විසඳුමක් බව සඳහන් වේ.