චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත අනුමත කළ පළමු යුරෝපා සංගම් රට බවට හංගේරියාව පත්ව ඇති අතර, ඔවුන් එන්නත් මාත්රා මිලියන 5ක් මිලදී ගැනීමට එකඟ වී තිබේ.
හංගේරියානු විදේශ ඇමති පීටර් සිජ්ජාර්ටෝ ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ මෙම එන්නත් ඉදිරි මාස හතර තුළ පැමිණෙන බවත්, රටේ ජනගහනයෙන් හතරෙන් එකකට පමණ එන්නත ලබාදීමට හංගේරියාවට හැකි බවත්ය.
එසේම චීන එන්නත් ගැන විශ්වාසයක් ඇති බව සනාථ කිරීමට, අගමැති වික්ටර් ඕර්බන් කියා සිටියේ තමන්ද එන්නත ලබාගැනීමට සූදානමින් සිටින බවය.
"මම චීන එන්නත එනතෙක් බලා සිටිනවා. එය මම වඩාත්ම විශ්වාස කරන දෙයයි" ඕර්බන් මහජන ගුවන් විදුලියෙන් පැවසීය.
"පුද්ගලිකව මා සිතන්නේ මේ වෛරසය ගැන දීර්ඝ කාලයක් අවබෝධය ලබා ඇති චීන ජාතිකයන් ඒ ගැන වැඩිපුරම දැන සිටිය යුතු බවයි. එබැවින් මම මගේ වාරය එනතෙක් බලා සිටිනවා. මට තෝරා ගත හැකි නම් මම චීන එන්නත ඉල්ලනවා."