චීනය වෙත ඔක්තෝබර් මාසයේදී විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 45%කින් ඉහළ යාම හේතුවෙන් රටවල් නවයක සංචාරකයන්ගේ පැමිණීම අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.
චීනය දැඩි ක්‍රමවේද ඔස්සේ වසංගතය ජයගෙන ඇති පසුබිමක එය තවදුරටත් පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව චීනය විසින් ඉතාලිය, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, පිලිපීනය, බෙල්ජියම, යුක්රේනය සහ බංග්ලාදේශය යන රටවලින් චීන නොවන ජාතිකයන් එරටට පැමිණීම සීමා කර තිබේ.
"සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝම්බර් මාසයේදී විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ගේ අනුපාතය 45%කින් පමණ ඉහළ යමින්, එය ආසාදිතයන් 515ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම චීනයේ සමහර ස්ථානවල කුඩා දේශීය පොකුරු මතුවීමද දක්නට ලැබුණා." චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසීය. ඒ අනුව මෙසේ විදේශයන්ගෙන් පැමිණෙන පුද්ගලයන් හරහා රටේ ජනතාවට වෛරසය සම්ප්‍රේණය වීම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.