මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පෙරේදා (15දා) චීනයට පැමිණ, 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි භාර ගත්තේය.
මාස කිහිපයක් තිස්සේ විධිමත් ප්‍රධානියෙකු නොමැතිව සිටි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් නව තානාපතිවරයා අන්තර්ජාලය ඔස්සේ උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
පුළුල් අත්දැකීම් සහිත ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතා 2009 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිතවරයා විය.
2009 අගෝස්තු දක්වා ඔහු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වූ අතර, සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ මහ ලේකම් කාර්යාලයේ හිටපු මහ ලේකම්වරයා ද විය.
ඔහු මීට පෙර 2006 දක්වා එක්සත් ජාතීන්ගේ නීති කටයුතු කාර්යාලයේ විශාලතම හස්තය වූ, නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අංශයේ ප්‍රධානියා විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කළමනාකරණ නවෝත්පාදනයන් හඳුන්වා දීමේ වගකීම ඔහු දැරූ අතර, ඉහළ කාර්යය සාධනයක් සහ කාර්යක්ෂමතාවයක් සඳහා එක්සත් ජාතීන්ගේ 21 PIN අංකය ඔහුට හිමි විය.
ආචාර්ය කොහොන මහතා 2013 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හය වැනි කමිටුවේ (නෛතික) සභාපතිවරයා වූ අතර, ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට ගිය ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සම සභාපතිවරයා ද විය.
ඔහු වෙළඳ, ආර්ථික සම්බන්ධතා, ගුවන් සේවා, ධීවර, පරිසරය, විශේෂයෙන් දේශගුණික විපර්යාස සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.
තානාපති ආචාර්ය කොහොන මහතා සිය ද්විතීයික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් එල්.එල්.බී. (ගෞරව) උපාධිය, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එල්.එල්.එම්. පශ්චාත් උපාධිය සහ ජාත්‍යන්තර ආර්ථික නීතිය පිළිබඳ නිබන්ධනයක් සඳහා එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය. ඔහු උසස් කළමනාකරණය සඳහා UN21 PIN ලාභියෙකි.