චීනයේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හා යෙදුම්වලට ඉන්දියාවෙන් එල්ල වන පීඩනය සම්බන්ධයෙන් දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ චීනය යළිත් සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ ආනයන බාධක පිළිබඳව රොයිටර් පුවත් සේවය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියාන් ප්‍රකාශ කළේ, "ඉන්දියාව කළේ වෙළෙඳ පොළ මූලධර්ම සහ ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීති මෙන්ම චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා උල්ලංඝනය කිරීමක්. චීනය කෙරෙහි ඇති වෙනස්කම් කිරීම නිවැරදි කරන ලෙසත්, අප අතර සහයෝගීතාවයට තවදුරටත් හානියක් නොකරන ලෙසත් අප ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා." යනුවෙනි.
චීනය සහ ඉන්දියාව අතර වෙළෙඳ සම්බන්ධතාවයේ හරය දෙපාර්ශ්වයටම ජය ලැබෙන අවස්ථාවක් බව ලිජියාන් පෙන්වා දුන් අතර, බාධා ඇති කිරීම දේශීය ආයෝජන සඳහා ඵලදායී නොවන අතරම, දිගු කාලීනව ඉන්දියාවේ ආශ්රිත කර්මාන්තවල ආර්ථික වර්ධනයට හානිදායක බව හෙතෙම පවසා සිටියේය.
චීනයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ අවසරය ඉන්දියාව විසින් දැඩි ලෙස පාලනය කිරීම නිසා පසුගිය මාසයේ ඇපල් සමාගමේ නව අයිෆෝන් මාදිලිය ආනයනය කිරීම මන්දගාමී වූ අතර, ෂඕමි සහ ඔප්පෝ වැනි නිෂ්පාදනවලටද දැඩි බාධාවක් එල්ල වී තිබේ. එමෙන්ම චීනයේ තවත් ජංගම යෙදුම් 43ක් ඉන්දියාව අවහිර කර ඇති අතර, ඒ අතර අලිබබා ගෘප් හෝල්ඩින් ලිමිටඩ් හි ඊ-වාණිජ්‍යය යෙදුම වන ඇලිඑක්ස්ප්රෙස් ද ඇතුළුව, බයිට්ඩෙන්ස් හි ටික්ටොක් සහ ටෙන්සෙන්ට්ස් හි වීචැට්ද ඇතුළත් විය.