පක්ෂ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට විරුද්ධව පොහොට්ටුව සමග ගිවිසුම්ගත වී එහි අපේක්ෂකයාට සහාය දැක්වීමට තීන්දු කළද, තමා ඇතුළු විධායක කාරක සභාවට හෝ සමස්ත ලංකා කාරක සභාවට විධිමත් ලෙස දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (04දා) දින ලිපියක් යවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ පිළිබඳ පෙන්වා දී තිබෙන අතර, එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පක්ෂයේ සංවිධාකවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් සහ ප්‍රබල පාක්ෂිකයන් නොයෙක් වර තමා හමු වී පොහොට්ටුව සමග සන්ධානාගත වී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔවුන්ට වෙනත් මගක් පෙන්වන ලෙසට අයැදිමින් සිටින බවයි.
සති කිහිපයකට පෙර පොහොට්ටුව සමග අත්සන් කර හොර රහසේ තබාගෙන ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම සහතික කර තිබෙන බවත්, බලලෝභී විනාශකාරීන් කිහිපදෙනෙකු විසින් ඉතාමත් භයානක ලෙස තම පක්ෂය විනාශ කිරීමට දියත් කර තිබෙන කුමන්ත්‍රණය පක්ෂයෙන් බේරාගෙන ආණ්ඩුවෙන් ලබාගත හැකි ප්‍ර‘යෝජන පාක්ෂිකයන්ට ලබාදෙමින්, පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙනයෑමට තිබෙන එකම විකල්පය මෙය බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.
රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු හා පක්ෂ සභාපති වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම්සහගතව විනාශ කිරීමට කටයුතු කර මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනගාගෙන තිබෙන බවත්, එයට එරෙහිව පක්ෂය විනය කටයුතු කර නොමැති සේම එයට එරෙහිව ප්‍රකාශයක් හෝ සිදුකර නොමැති බවත් එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
ලිපිය මෙසේය
2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී මාගේ දේශපාලන ස්ථාවරය පිළිබඳ පක්ෂයේ සභාපති වන ඔබතුමාට පැහැදිලි කළ යුතු යැයි මම විශ්වාස කරන බැවින්, මෙසේ ලිවීමට අදහස් කළෙමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදෙමින්, එම පක්ෂය සමග සන්ධානගත වී ඇති බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණි. අප පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැඳවා, මේ පිළිබඳ තීරණයක් ගෙන නැති බව මම දනිමි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන මා හට 2018 වසරේ ජුනි මස සිට මේ දක්වා මධ්‍යම කාරක සභා රැස්වීම් දැනුම් දී නැත. 2019 මැයි/ජුනි මාසවල මා විදේශගත වී සිටි අවස්ථාවේ එක් මධ්‍යම කාරක සභා රැස්වීමක් පමණක් පක්ෂ මහලේකම් විසින් දැනුම් දී තිබිණි.
මා රටේ නොමැති බව පැහැදිලිව දැන සිටියද, අවුරුද්දකට පසු මෙසේ ආරාධනා කිරීම පිළිබඳ ලේකම්වරයාට (ඔබටද පිටපතක් සහිතව) මම ලිඛිතව විරෝධය පළ කළෙමි. ඉන්පසු මේ දක්වා මධ්‍යම කාරක සභා හෝ පක්ෂයේ වෙනත් රැස්වීම් පිළිබඳ මට දැනුම් දී නැත.
මේ අනුව, පොහොට්ටුව සමග සන්ධානගත වීම පිළිබඳ සාධාරණ හේතු සහිතව, මීට වසර එකහමාරකට පෙර මධ්‍යම කාරක සභා රැස්වීමේදීද, අවස්ථා කීපයකදී ලිඛිතව ඔබටද දන්වා සිටියෙමි.
එහෙත්, මට කිසිදු දැනුම්දීමක් හෝ අදහස් දැක්වීමට අවස්ථාවක් හෝ නොදී, ඉතා අත්තනෝමතික මෙන්ම පක්ෂයේ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට විරුද්ධව පොහොට්ටුව සමග ගිවිසුම්වලට එළඹ, එහි අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට තීන්දු කර තිබේ. අද වනතෙක් මෙම තීන්දුව පිළිබඳ මා ඇතුළු විධායක කාරක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට විධිමත් පරිදි දැනුම් දී නැත.
තත්ත්වය මෙසේ තිබියදීත් මම නිහඬව සිටියෙමි. මේ අතර ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ එකඟතා ගිවිසුම අත්සන් කරන උත්සවයට මා හට ආරාධනා ලැබ, විශේෂ ආරාධිත අමුත්තියක ලෙස එම අවස්ථාවට සහභාගි වීමි.
විවිධ පක්ෂවල සම්මේලන සඳහා අනෙකුත් පක්ෂවල නායකයන්ද සහභාගි වන්නාක් මෙන් මමද එම උත්සවයට සහභාගි වුණෙමි. මීට පෙර 2016 වසරේදී පැවැති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට මා සමග ඔබතුමාද සහභාගි වී, කතාවක්ද පැවැත්වූ බව මතක ඇතැයි සිතමි.
තවද, අප පක්ෂයේ සංවිධායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රබල පාක්ෂිකයන් සෑහෙන පිරිසක්ද නොයෙක් වර මා හමුවෙමින් පොහොට්ටුව සමග සන්ධානගත වී, ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින්, ඔවුන්ට වෙනත් මගක් පෙන්වන ලෙස අයදිමින් සිටිති. ඔවුන් ද ඉකුත් ඔක්තෝබර් 01 වෙනිදා අත්සන් කෙරුණු ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පිහිටුවීමේ උත්සවයට නියත වශයෙන්ම සහභාගි වන බව මා හට දැනුම් දී තිබුණි.
අප පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඔබතුමා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පිළිබඳ කිසිදු විරෝධයක් දක්වා නොමැති බවද මම පැහැදිලිව දනිමි.
2015 ජනාධිපතිවරණයෙන් මෙන්ම මහමැතිවරණයෙන්ද පරාජයට පත් වන්නට තිබුණු අප පක්ෂය, ඔබගේ නායකත්වයෙන්, අපි සියලු දෙනා එකතුව බේරාගෙන, ජයග්‍රාහී මාවතට පත් කළාක් මෙන්, මෙවරද බලලෝභී විනාශකාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා භයානක ලෙස අප ආදරණීය පක්ෂය විනාශ කිරීමට දියත් කර තිබෙන කුමන්ත්රණයෙන් පක්ෂය බේරාගෙන, ආණ්ඩුවෙන් ලබාගත හැකි ප්‍රයෝජන පාක්ෂිකයන්ට ලබාදෙමින්, පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට තිබෙන එකම විකල්පය මෙය බවද මම තරයේ විශ්වාස කරමි.
තවද, සති කිහිපයකට පෙර පොහොට්ටුව සමග අත්සන් කර, හොර රහසේ තබාගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම සහතික කර තිබේ. ගිවිසුමේ 12 වැනි ඡේදය පමණක් වුවද මාගේ සැකය තහවුරු කිරීමට ප්‍රමාණවත් වෙතැයි සිතමි.
සිරිමාවෝ මැතිණිය පක්ෂයෙන් පන්නා දැමීමට 1980දී, මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සේනානායක මැතිතුමා සමග රටපුරා දියත් කළ සටනෙන් පටන්ගත් කුමන්ත්‍රණය, කොබ්බෑකඩුව - ජේ.ආර්. ජනාධිපතිවරණ සටනේදී, බැසිල් එක්සත් ජාතික පක්ෂ වේදිකාවට යවා, මහින්ද පක්ෂයේ සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා පරාජය කිරීමට විවිධ කූඨ උපක්‍රම යෙදවීය. ඒ කුමන්ත්‍රණ හේතුවෙන් වසර 17ක් ගුටි කකා විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ආපසු රාජ්‍ය බලය ලබා ගැනීම පිණිස 1994දී මාගේ නායකත්වයෙන් දියත් කරන ලද මැතිවරණ සටනට ඔහු කිසිම සහයෝගයක් නොදැක්වුවත්, මා ඔහුට කැබිනට් ඇමති තනතුරක් පවා ලබා දුනිමි. එහෙත් 2001දී අපේ මන්ත්‍රීවරුන් 09 දෙනෙක් එජාපයට යවා, අප රජය පරාජය කර, එජාපයට රාජ්‍ය බලය ලබා දී ඔවුන් ලවා මට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටත්, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහාය ඒ සඳහා ලබාදීමටත් විවිධ පරාජිත කුමන්ත්‍රණ සිදුකළේ ය.
(මේ පිළිබඳ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස සිටි ඔබතුමා ඉතා හොඳින් දන්නා බව මතක ඇත.) රාජපක්ෂ මහතා ජනාධිපති සහ පක්ෂ සභාපති ලෙස පත් වූවාට පසු ශ්රීලනිපය සැලසුම් සහගතව විනාශ කිරීමට කටයුතු කර, දැන් ශ්‍රීලනිපයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනගාගෙන, ඒ පක්ෂයේ නායකත්වයද අරගෙන තිබෙන බව ඔබ දන්නවා ඇත. නමුත්, ඔහුට එරෙහිව පක්ෂය විසින් විනය කටයුතු කර නැතිවා පමණක් නොව, එයට එරෙහිව ප්‍රකාශයක්වත් සිදුකර නොමැත.
එසේ නම් මාගේ ක්‍රියාදාමය තුළින් අප පක්ෂයට කිසිදු හානියක් සිදු නොවූ බව මම තරයේ විශ්වාස කරමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා!
මීට,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදා ළැදි
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග