චීන හමුදාව සතු හෝ පරිපාලනය කරන චීන සමාගම්වල ඇමරිකානුවන්ට ආයෝජනය කිරීම තහනම් කරමින් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අත්සන් තබා තිබේ.
මෙම නියෝගය චීන සමාගම් 31කට අදාළ වන අතර, එම සමාගම් චීන හමුදාවේ සංවර්ධනය හා නවීකරණයට ඉඩ සලසන බවත්, එය එක්සත් ජනපද ආරක්ෂාවට සෘජුවම තර්ජනයක් බවත් පවසමින් ට්රම්ප් මෙම තීරණයට එලැඹ ඇත.
ලොව ප්රමුඛතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Huawei සමාගම සහ වීඩියෝ නිරීක්ෂණ මෙවලම් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Hikvision සමාගමද මෙසේ අසාදු ලේඛණගත කළ සමාගම් අතර වෙයි.
චයිනා ටෙලිකොම් සහ චයිනා මොබයිල් ඇතුළු ලැයිස්තුගත කර ඇති තවත් සමහර සමාගම් නිව්යෝක් කොටස් වෙළෙඳ පොළේ වෙළෙඳාම් කරන සමාගම් ලෙසද සැලකෙයි.
ට්රම්ප්ගේ මෙම විධායක නියෝගය හරහා එක්සත් ජනපද ආයෝජකයන්ට එම සමාගම්වලට අයත් හෝ නිරාවරණය වන සුරැකුම්පත් අයිති කර ගැනීම හෝ වෙළඳාම් කිරීමද තහනම් කර ඇත. එමෙන්ම තහනම් සමාගම්වල විශ්රාම අරමුදල් හෝ කොටස් හිමිකමද මෙයට ඇතුළත් වේ. මේ තත්ත්වය තුළ ආයෝජකයන්ට ඕනෑම සමාගමකින් ඉවත් වීමට 2021 නොවැම්බර් දක්වා කාලය ලබාදී ඇත.
ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර වාණිජ හා තාක්ෂණික සටන තවදුරටත් උණුසුම් කරමින්, එලැඹෙන ජනවාරි 11 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්රියාවට නැංවෙයි.
තවමත් බලයේ සිටින ට්රම්ප් ඉදිරි වසර 4ත් ඇමෙරිකාව පාලනය කිරීමට සූදානමින් සිටින අතර, තේරීපත්වූ ජනපති බයිඩන්ද ඉදිරි වසර 4 පාලනය කිරීමට පිඹුරුපත් සකසමින් සිටියි. උභතෝකෝටිකය ප්රශ්න දිනෙන් දින උග්ර වෙයි.