චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධීක්ෂණ ඒජන්සිය (BPOM) කොළ එළියක් මුදාහැර තිබේ.
කොරෝනාවැක් නම් වූ මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව BPOM ප්‍රධානී පෙනි ලුකිටෝ මාධ්‍ය හමුවකදී පැවසීය.
"දත්ත මත පදනම්ව සහ WHO මගපෙන්වීම සලකා බලමින්, කොරෝනාවැක් එන්නත භාවිත කිරීමට අවසර ලබා ගැනීම සඳහා අවශ්‍යතා සපුරා තිබෙනවා" ලුකිටෝ පැවසීය.
ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ තුර්කිය යන රටවල තුන්වැනි අදියර සායනික අධ්‍යයනවලින් ලබාගත් උපකාරක ආරක්ෂිත දත්තවල ඇගයීමේ ප්‍රතිඵලවලට අනුව මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ හැර සමස්තයක් වශයෙන් එන්නත ආරක්ෂිත බව ලුකිටෝ වැඩිදුරටත් පැවසීය.
ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය බුඩි ගුණඩි සාඩිකින් පැවසුවේ සීනොවැක් වෙතින් එන්නත් මාත්‍රා මිලියන 15ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙන බවය. ඒ අනුව එරට සෞඛ්‍ය සේවකයින් සහ අනෙකුත් සිවිල් සේවකයින්ද ඇතුළුව රටේ අධි අවදානම් කණ්ඩායම් අතර කොරෝනාවැක් එන්නත ලබාදීම මේ සතියේ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පැවසුවේ එන්නත ලබාගන්නා පළමු පුද්ගලයා තමා වනු ඇති බවය. සඳුදා දහවල් වනවිට ඉන්දුනීසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 800,000කට වඩා තහවුරු වී තිබේ. කොරෝනා වෛරස වසංගතය මෙම දූපත් සමූහයේ 24,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.