චීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
එම ඡායාරූපවල බිම වැටී ඇති පැරෂූටය මෙන්ම, අඟහරු පෘෂ්ඨය මත වූ ආරක්ෂිත ආවරණය පැහැදිලිව දැකගත හැකිය. එම ඡායාරූපය ලබාගනිද්දී ෂුරොන්ග් රෝවරය ඉන් මීටර් 30ක් දුරින් සහ ගොඩබෑමේ ස්ථානයේ සිට මීටර් 350ක් පමණ දුරින් සිට ඇති බව කියයි.
එහිදී රෝවරයේ ඉදිරිපස හා පිටුපස කැමරාවලින් පැරෂුටයේ සහ ආරක්ෂිත ආවරණයේ ඡායාරූප ග්‍රහණය කරගෙන ඇත.
ෂුරොන්ග් රෝවරය මේ වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 450ක් ගමන් කර අඟහරු දින 60ක් හෙවත් පෘථිවියේ දින 61.5ක් පමණ පර්යේෂණ කටයුතු සිදුකර තිබේ.