රාජ්‍ය චක්‍ර ලේඛ උල්ලංගණය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ හා උපදෙශන සේවා සමාගම විසින් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවා ඇති බවට ජාතික විගණන කාර්යාලය එම සමාගම සම්බන්ධයෙන් කළ තොරතුරු කැඳවීමක්/විමසීමකින් හෙළිව තිබේ.
ඒ අනුව සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙසට මුදල් අමාත්‍යාංශය 2019 වසරේ නොවැම්බර් මාසයේ නිකුත් කර ඇති ලිපියට හා පසුගිය පෙබරවාරි 21 දින නිකුත් කර ඇති අංක 01/2020 යන චක්‍රලේඛය මගින් සියලු බඳවා ගැනීම් නැවත සමාලෝචනය කර දැනුම් දෙන තෙක් තාවකාලිකව අත්හිටුවන ලෙසට දැනුම් දී තිබියදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමගම සඳහා නිලධාරීන් 6 දෙනෙකු බඳවා ගෙන සිිටින බවට නියැදි විගණන පරීක්ෂණයට අනුව නිරීක්ෂණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එසේම රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී අවුරුදු 60ට වැඩි විශ්‍රාමික නිලධාරියෙකු සේවයේ යෙදවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වුවත් වරාය කළමනාකරන උපදේශන සේවා සමාගම විසින් 2019/12/31 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ නිලධාරීන් 10ක් හා 2020/05/31ට අවුරුදුු 60 ඉක්මන නිලධාරීන් 7ක් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගමට බඳවා ගෙන ඇති බවට නිරීක්ෂණය වන බවද ජාතික විගණන කාර්යාල වාර්තාවේ දැක්වෙයි.
එසේම වරාය අධිකාරිය විසින් අනුප්‍රාප්තික සැලසුමක් පිලියෙළ කිරිමකින් තොරව ඉහළ කළමනාකරණ ශ්‍රේණිවල නිලධාරීන් විශ්‍රාම ගිය පවසුවද එම නිලධාරීන් විශ්‍රාම ගිය තනතුරේම සේවය කිරීමට කොන්ත්‍රාත් පදනම මත බදවාගෙන ඇති බවත් ජාතික විගණන කාර්යාල වාර්තාවේ දැක්වෙයි.
අනුප්‍රාප්තක සැලැස්මක් පිළියෙළ කිරීම පාලන මණ්ඩලයේ වගකීමක් වන අතර විශ්‍රාම ගිය නිලධාරියෙකු නැවත සේවයේ යෙදවීම හේතුවෙන් රජයට හෝ ආයතනයට සිදුවන පාඩුව පිළිබඳව එකී නිලධාරියා නැවත සේවයේ යෙදවිමට බලය දුන් නිලධාරියා පෞද්ගලිකව ම වගකිව යුතු බව චක්‍ර ලේඛවලින් දන්වා තිබේ.
සියලුම රාජ්‍ය ආයතනවල ඇගිලි සලකුණු සටහන් කිරිමේ යන්ත්‍ර භාවිත කිරීම හරහා පැමිණීම හා පිටවීම සනාථ කිරීමට වාර්තා තබා ගත යුතු බවට චක්‍ර ලේඛවලින් දැනුම් දී ඇතත් වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමගාමේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවා සිටින නිලධාරින් 29 දෙනෙකු අතරින් 18 දෙනෙක් පැමිණීම හා පිටවීම සටහන් කිරීමට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිත නොකරන බවද විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.
වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම මගින් වරාය අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත බදවාගත් සේවකයන් 66 ක් වෙනුවෙන් 2019 වර්ෂයේදී රුපියල් 28, 707, 569ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව පෙන්වාදෙන ජාතික විගණන කාර්යාලය වරාය අධිකාරියේ කොට්ඨාස 13ක අතිරික්ත සේවකයන් 651ක් සිටින බවද පවසයි. ඒ අනුව වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම මගින් වරාය අධිකාරියේ සේවා ඉටු කර ගැනීමේදී අතිරික්ත සේවකයන් භාවිත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් විගණනයේ දැක්වෙයි.