චෙක් ජනරජය, කොවිඩ්-19 පළමු රැල්ල මැඬපැවැත්වීමට වසන්ත සමයේදී ක්‍රියාත්මක කළ දැඩි මුඛ ආවරණ නීතිය, ගිම්හානය වනවිට ඉවත්කළ අතර, පසුව රට තුළ වෛරසය වේගවත් වී ඇති මේ අවස්ථාවේදී යළි එය ස්ථාපිත කළත් තීරණය ප්‍රමාද බවට විවාදයක් ඇතිවී තිබේ.
මේ වනවිට එරට සියලුම නාගරික ප්‍රදේශවල සහ මෝටර් රථවලදී පවා මුඛ ආවරණ අනිවාර්ය කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය රෝමන් ප්රිමුල සඳුදා නිවේදනය කළේය. මීට පෙර, ඒවා ගෘහස්ථව සහ එළිමහන් දුම්රිය ස්ථාන ඇතුළුව පොදු ප්‍රවාහනයේදී පමණක් අනිවාර්ය විය.
කෙසේ වෙතත් පුද්ගලයෙකුට ව්‍යායාම කරන විට හෝ එකම ගෙදරක නොවන පුද්ගලයන් දෙදෙනෙකුට ඔවුනොවුන් අතර මීටර් දෙකක දුරක් තබාගත හැකිවිට මුඛ ආවරණ අනිවාර්ය නොවන බවට එම නීතිරීතිවලට ව්‍යතිරේක කිහිපයක් තිබේ. එසේම යමෙකු තනිවම හෝ ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග මෝටර් රථයක සිටී නම්, ඔවුන්ටද මුඛ ආවරණයක් පැලඳීම අවශ්‍ය නොවෙයි. එසේම වයස අවුරුදු 2ට අඩු ළමයින්ද මෙම නීතියෙන් නිදහස් කර ඇත.
වසංගතයේ පළමු රැල්ල අතරතුර ලෝකයේ ඕනෑම ප්‍රධාන රටකට වඩා දැඩි මුඛ ආවරණ නීතියක් අනුගමනය කළ චෙක් ජාතිකයන්, සාපේක්ෂව මුල් අවධියේදී දැඩි අගුලු දැමීමක් පැනවීමට රට ගත් තීරණයට සමගාමීව එය ක්‍රියාත්මක කළේය. ඒ අනුව කෝවිඩ්-19 හි දරුණුතම විනාශයන් ඒ අවස්ථාවේදී රට බේරා ගැනීමට එය ඵලදායී විය.
එහෙත් චෙක් ජනරජය තමන්ගේම සාර්ථකත්වයේ ගොදුරක් බවට පත්ව ඇති බව පෙනෙන්නේ, ගම්හානයේදී ඔවුන් මුඛ ආවරණ නීතිය ඇතුළු සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව, මේ වනවිට ලෝකයේ ඕනෑම ප්‍රධාන රටකට වඩා මිලියනයකට වාර්තා වන නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරමින්, වසංගතයේ දෙවැනි රැල්ලෙන් වඩාත්ම බැටකන රාජ්‍යයක් බවට පත්වීම නිසාය. ඔවුන් දැන් යළි මුඛ ආවරණ නීති දැඩි කළද එය අශ්වයා ගියපසු ඉස්තාලය වැසීමක් හා සමාන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙය වසංගතය මුල් අවධියේ හෝ පළමු රැල්ලේදී එය හොඳින් පාලනය කළත්, මේ වනවිට එහි දෙවැනි රැල්ලෙන් දැඩිව බැටකන ඇතැම් රාජ්‍යයන්ටද වලංගු තත්ත්වයක බව කියැවේ.