බත්තරමුල්ල, ගොවිජන මන්දිරය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත බාරදෙන ලෙසට කථානායකවරයා වෙත ලිඛිතව ඉල්ලීම් කර තිබුණද අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව එය සිදු කළ නොහැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් 'අද'ට පැවසීය.
හෙතෙම පෙන්වා දුන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර පිහිටා තිබූ මෙම ගොඩනැගිල්ල පාර්ලිමේන්තුව විසින් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පවරාගැනීම හේතුවෙන් නැවත එය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරාදීම කථානායකවරයාට පමණක් සිදු කළ නොහැකි අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද අවශ්‍ය වන බවයි.
කෙසේවුවද කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත රැගෙන යෑමට අවශ්‍ය කරුණු අධ්‍යයනය කිරීම සඳහා වූ සය පුද්ගල විද්වත් කමිටුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගියදා පත් කරන ලද අතර මාස 02ක කාලයක් තුළදී අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත ලැබීමට නියමිතය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටා ඇති රාජගිරිය, ඩී.පී.ජේ. ටවර් ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 21කට අධික මුදලක් මාසික කුලිය වශයෙන් මේ වනවිට ගෙවනු ලැබෙයි.
එසේම, වසර 05කින් අවසන් වීමට නියමිත එම බදු ගිවිසුමට අනුව වසර 05ක කාලය අවසානයේදී ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 950ක් ඉක්මවූ මුදලක් ගෙවීමට ඇති නමුත්, ඒ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම පිළිබඳවද ගැටලුවක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දී තිබිණි.