අධ්‍යාපන ක්ෂේත්රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පත්වීම දෙන මුවාවෙන් දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 අවලංගු නොකළොත් ශිෂ්‍යත්ව විභාගයේ හා උසස්පෙළ විභාගයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය හා ගුරු - විදුහල්පති සංගම් සඳහන් කරයි.
මීට අමතරව මේ මස 26 වැනිදා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බවත්,ඊට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් බාරදීමට කටයුතු කරන බවත් අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.
එළැඹෙන අගෝස්තු 05 වැනිදාට පෙර අදාළ විදුහල්පති ගුරු අධ්‍යාපනඥ සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට සකස් කළ නම් ලැයිස්තුව වහාම අවලංගු කළ යුතු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරී නීල් අතුකෝරළ මහතා සඳහන් කළේය.
ලබන 26 වැනිදා ගුරු විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් එක්දින වැඩවර්ජනයක් සිදු කරන බැවින් එදිනට පැවැත්වීමට නියමිත වාර විභාගය කල් දමන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගෙන් ඇතුළු බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් එක්දින වැඩවර්ජනය ඇතුළු සියලුම ක්‍රියාමාර්ග නවතා දැමීමට අවශ්‍ය නම්, දේශපාලන පත්වීම් ලැයිස්තුව වහාම අවලංගු කර දැමිය යුතු බවද එම සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ලබන 26 වැනිදා සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වුවහොත් විභාග රාජකාරිවලින් ඉවත්වන බව ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහොන් වීරසිංහ මහතා පැවසීය.
දේශපාලන හිතවතුන්ට පත්වීම් ලබාදීමට සැලසුම් කිරීමට අමතරව විභාග ශාලාවලට, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවද ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහාද විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීමට සැලසුම් කර තිබෙන බවත්, මෙය වහාම නවතා දැමිය යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව දේශපාලන හිතවත්කම් මත සකස් කළ ලැයිස්තුව වහාම අවලංගු කළ යුතු බවත්,එසේ නොමැති වුවහොත් විභාග රාජකාරිවලින් ඉවත් වන බවත් ඔහු පවසා සිටියේය.
විශ්‍රාමික හමුදා නිලධාරියාට අතිරේක ශාලාධිපති තනතුරක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන පරිපාලන සේවයේ පිරිස්වලට හිමිව තිබූ වරප්‍රසාදයක්ද අහිමි වන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉතිහාසයේ කිසිදු අවස්ථාවක විභාග ශාලාවල තනතුරු සඳහා පිටස්තර පුද්ගලයන් පත්කර නොමැති බවද මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.
පහවසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 05 වැනිදා හා උසස් පෙළ විභාගය අගෝස්තු 06 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
