ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක් රජය විසින් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.
දේශපාලන ප්රතිරූප ගොඩනැංවීමේ අරමුණුවලින් බැහැරව ග්‍රාමීය වශයෙන් ජනතාවගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඒවා ඉටු කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවත් ගම්පෙරළිය ව්‍යාපෘතියට අමතරව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යන ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කරයි.
මෙහිදී ග්‍රාමීය මාර්ග 6936ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 13872ක්, ග්‍රාමීය වැව් සහ අමුණු 1300ක් ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 4550ක්, ආගමික ස්ථාන 500ක් වැඩිදියුණු කිරීම සඳහා මිලියන 250ක්, ග්‍රාමීය සහ නාගරික මට්ටමින් නිවාස සංවර්ධනය කිරීම (ස්ථිර වහළයක් ලබාදීම) සඳහා රුපියල් මිලියන 15000ක් ලබා දීමට අපේක්ෂිතයි.
එමෙන්ම ග්‍රාමීය පාසල් පද්ධති ඉදිකිරීම් සහ අලුත්වැඩියා වෙනුවෙන් රුපියල් මිලියන 1989ක් වෙන්කර ඇති අතර විදුලිය නොමැති දිවයිනේ සියලු නිවාස සඳහා විදුලි සැපයුම ලබා දීම වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාධන යටතේ රුපියල් මිලියන 6000ක් සහ සතිපොළ, හරිත උද්‍යාන සහ පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1700ක් වෙන් කර තිබේ.
සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 90ක් ද ඉඩම් ඔප්පු ලබාදීම සහ නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක්ද වැය කිරීමට අපේක්ෂිත අතර නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5310ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
