ගලේවෙල පොලිස් බල ප්රදේශයේ මොරගොල්ල ප්රධාන මාර්ගයේ හොම්බාව ප්රදේශයේදී අද (28) දින පෙරවරුවේ වෑන් රථයක් ත්රීරෝද රථ දෙකක් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් කුකුළු ගොවිපළක සේවය සඳහා කාන්තාවන් ප්රවාහනය කරමින් තිබූ ත්රිරෝද රථයක් සහ මාර්ගය අසල නවතා තිබූ තවත් ත්රීරෝද රථයක් සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් බව පොලීසිය කියයි.
මෙම අනතුරින් තුවාල කරුවන් අතර වෑන් රථයේ රියදුරු ත්රිරෝද රථයක රියදුරු යතුරු පැදියේ රියදුරු සහ රථ දෙකේ ගමන් ගත් කාන්තාවන් 08ක් වන බව පොලිසිය කියයි.
ඒ අනුව මෙම අනතුරින් පිරිමි පුද්ගලයන් තුන් දෙනෙකු සහ කාන්තාවන් අටදෙනකු බව පොලීසිය කියයි.
මොරගොල්ල දෙසින් මෙම වෑන් රථය ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියන් ප්රවාහනය කරමින් තිබියදී ගලේවෙල දෙසින් මොරගොල්ල දෙසට කුළු ගොවිපලක සේවිකාවන් ප්රවාහනය කරමින් තිබූ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුර වන අවස්ථාවේදී ත්රිරෝද රථයේ හත් දෙනෙකු ගමන් කරමින් සිටි බව ත්රිරෝද රථයේ රියදුරු සහ තුවාල ලැබූ අය ප්රකාශ කළහ.
අනතුරක් සමග පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් ද ත්රිරෝද රථයේ වැදෙනවාත් සමග අසල නවතා තිබූ තවත් ත්රීරෝද රථයක මෙම අනතුරට පත් ත්රිරෝද රථයක ගැටුණු බව අනතුර ඇසින් දුටුවෝ පවසති.
අනතුරුදායක වංගුවක් සහිත ස්ථානයක රියදුරන් අපරික්ෂාකාරී රිය ධාවනය මෙන්ම ත්රිරෝද රථයේ පුද්ගලයන් හත් දෙනෙකු ප්රවාහනය කිරීම නිසා අනතුරු වළක්වා ගැනීමට නොහැකි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ,
තුවාල ලැබූවන් සියලුදෙනාම ගලේවෙල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු දඹුල්ල මූලික රෝහලට මාරු කර තිබුණු බවත් සෙසු කාන්තාවක සහ පිරිමි අයෙකු ගලේවෙල ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.