මගී ප්රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්රෑම් 15ක ප්රමාණයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
වත්තල ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු දෙදරු පියෙකු වන අතර මොහු මගී ප්රවාහන සේවාවක රැකියාව කරන අතරතුරදී මිනුවන්ගොඩ , ගම්පහ ඇතුලු අවට ප්රදේශයන්ට මත්කුඩු අලෙවි කරනු ලබන බව අනාවරණයවී ඇති බවත් සැකකරු සන්තකයෙහි තිබී වීදි වටිනාකම රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා හෙරොයින් මිලිග්රෑම් 15ක් සමග රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා මෝටර් රථයද මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොටුගොඩ සහ නැදගමුව යන ප්රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන මත්කුඩු බෙදාහරිනු ලබන පුද්ගලයින් පිළිබඳව ප්රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැගන් ආර් වර්ගයේ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් ගම්පහ , මිනුවන්ගොඩ ඇතුළු අවට ප්රදේශයන්ට මත්කුඩු බෙදා හැරීම කරනු ලබන බවය.
මේ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා මහතා ඇතුළු කණ්ඩායමක් දින කිහිපයක් තුල සිදුකළ පරීක්ෂාවේදී මිනුවන්ගොඩ , නැදගමුව වැවේ හන්දිය අසලදී අදාල වෑන් රථයෙන් හෙරොයින් රැගෙන යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙම සැකකරු සමග මත්කුඩු බෙදා හරිනු ලබන ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.