ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීය.
කොවිඩ් - 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ. ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් එවා තිබේ. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.
දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කළේය. චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ් - 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ. අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.
