කොරියානු රැකියා ලබා දෙන බව පවසන වංචනිකයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් වන බවත් මෙම ක්රියාවලිය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලබන බවද එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
මෙම රැකියා අවස්ථා සඳහා දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට කිසිදු බලපෑමක් සිදුකළ නොහැකි අතර කොරියානු රැකියා පෙර විගමණික පුහුණුව ලබාදෙනු ලබන්නේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරා ගන්නා සුදුසුකම්ලත් පුහුණු උපදේශකයන් විසින් බවද එහි දැක්වේ.
කොරියානු රැකියා අපේක්ෂකයන්ට භාෂා පුහුණුව ලබාදීමට කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නම් කර නොමැති අතර ඒ සඳහා වන වගකීම්ද භාරදී නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.