බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ අපේක්ෂකයකු විසින් අභියාචනාධිකරණයට අද (28) පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයකු වන නාමල් කරුණාරත්න මහතා විසින් රිට් ආඥාවක් ඉල්ලා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩ බලන පොලිස්පති වරයා කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිල පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කොට ඇත.
වසර 1293 සහ 1302 අතර කාලසීමාව තුල දෙවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය පාලන සමයේදී ඉදි කළ බව කියන දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභාව ඉකුත් දා ඩෝසර් කර කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල වී ඇතැයි කියන පෙත්සම්කරු මෙම රාජ සභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවත් එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇති බවත් සඳහන් කොට ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් පසුගිය 23 වැනිදා තමා කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් දා ප්‍රසිද්ධ රැස්වීමකදී අදහස් දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බවත් එය මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවද පෙන්වා දෙන පෙත්සම්කරු දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන බවද පෙන්වා දී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන කුරුණෑගල නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් වැඩ බලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රිට් ආඥා නිකුත් කරන්නැයි පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
