සේරුවාවිල ප්රදේශයේ වී මෝලක සඟවා තිබියදී රුපියල් මිලියන 118කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 09 ග්රෑම් 900ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (11දා) සොයා ගන්නා ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව කොළඹින් සේරුවාවිල ප්රදේශයට ගිය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුවාවිල, මාවඩිච්චේන, කෙසෙල්වත්ත ප්රදේශයේ පදිංචි 34 හා 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේදී අත්අඩංගුවට ගන්නා ලද වැඩිම හෙරොයින් තොගය මෙය වන අතර, ඉතා සූක්ෂ්ම අයුරින් පාර්සල් 22ක් තුළ බහා වී මෝලක් තුළ සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
විදේශ රටක සිට මෙරටට ගෙන්වූ හෙරොයින් තොගයක් කෙළඹට ගෙන යන තෙක් සේරුවාවිල ප්රදේශයේ වී මෝලක සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කොළඹින් එම ප්රදේශයට ගිය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගය සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෙළි කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

බුද්ධිමාල් රුබේරු/ ඉන්දික හේවාවිතාරණ