පවතින අලි වැටවලට අමතරව දිවයින පුරා අලුතින් ඉදිකළ යුතු කි.මි 2500 ක් වන අලි වැට ඉදිකිරීම් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අලි වැට නඩත්තු කටයුතු පිළිබඳ ඊයේ (29දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේදී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අඩුපාඩු සහිත සහ අකි‍්‍රය වී ඇති විදුලිවැට කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.
අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවතින අලි වැට කි.මි හාරදහසක් පමණ වන ප්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි.
එම සේවාවේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබාදෙන දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා, ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, තිරසර සංවර්ධන වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න ඇතුළු පිරිසක් එක්වූහ.