කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා’ මිනි ලැබ්’ නමින් කුඩා විද්‍යාගාර දිවයින පුරා ප්‍රාදේශිය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කුළුබඩුවල මිල නිරන්තරයෙන් පහළ යාම වළක්වා ඒ සඳහා සාධාරණ මිලක් ගොවියාට ලබාගැනීමට මෙමඟින් කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්යක්ෂ ජනක ලින්දර මහතා පවසයි.
වර්තමානයේ දේශීය කුළුබඩු නිෂ්පාදනවලින් සියයට 90 ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ගෙවතු ආශ්රිත සුළු ගොවියන් විසින් වන අතර එම නිෂ්පාදනවල ගුණාත්මකභාවයේ යම් යම් අඩුපාඩු පවතින බව පෙන්වා දෙන අධ්යක්ෂවරයා වෙළෙඳපොළ මිල තීරණය කිරීමේ ප්‍රධානතම සාධකය වන්නේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය බවද පෙන්වා දෙයි. මෙලෙස කුළුබඩුවල ගුණාත්මක තත්ත්වය අඩුවීමෙන් වැඩි ආදායමක් ලබාගත හැකි යුරෝපා වෙළඳපළ අවස්ථා අහිමිවීම ද සිදුවේ.
එසේම මෙලෙස නිෂ්පාදනය කරන කුළුබඩු අලෙවි කිරීමට යාමේදී ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන අතර ගැනුම්කරුවන්හට ද ඉහළ ප්‍රමිතියෙන් යුත් කුළුබඩු සපයාගැනීම ගැටලුවක් වී තිබේ. පුද්ගලික අංශය සතුව මෙම විද්‍යාගාර පහසුකම් පැවතුණද කුළු බඩුවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඉහළ මිලක් අය කරයි. එය සුළු ගොවියන්ට හා සුළු ව්‍යාපාරිකයන්ට දැරිය හැකි නොවේ. මෙම ගැටළු සඳහා මූලික විසඳුමක් ලෙස දිවයින පුරා මෙම මිනිලැබ් පිහිටුවන බව අධ්යක්ෂ ලින්දර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
දිවයින පුරා මේ වනවිට මිනිලැබ් 90 ක් පිහිටුවා ඇති බවත් . තත්ත්ව පරීක්ෂා කිරීමට පුහුණු නිලධාරීන් මේ සඳහා යොදවා තිබෙන බවත් මෙහිදී අදාල ගොවියන්ගේ කුළු බඩු සාම්පල පරීක්ෂාවට ලක් කරනු ලැබන බවත් අධ්යක්ෂ ලින්දර මහතා කීය.
ගම්මිරිස් , කරාබු , එනසාල් , කෝපි ඇතුළු කුළුබඩු බෝග සඳහා මේ අයුරින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු කෙරේ. වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශතය හා පළිබෝධ හානි ආදිය පිළිබඳ පරික්ෂාවට ලක් කර සහතිකයක් නිකුත් කිරීම මෙහිදී සිදුකරයි. ඒ අනුව කුළුබඩු අංක 1, 2, 3 ආදී ලෙස ශ්‍රෙණිගත කරනු ලබයි. කුළුබඩුවල පවත්නා අඩුපාඩු පිළිබඳ ගොවීන් දැනුවත්කිරීමද ගුණාත්මක කුළුබඩු සපයන ගොවීන්ට වැඩි මිලක් ගෙවන ගැණුම්කරුවන් සම්බන්ධකරදීමද මීට අමතරව සිදුවේ. මෙම සියලු සේවා නොමිලේ ලබාදෙන බවද ජනක ලින්දර මහතා වැඩිදුරටත් පැවසීය.