තලවකැලේ, ලිඳුල, මාවුස්සාඇල්ල වත්තේ වතු කම්කරුවන් පිරිසක් වසරකට අධික කාලයක සිට කිසිඳු පහසුකමක් නොමැතිව එම වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දැඩි දුෂ්කරතා මැද්දේ කල් ගෙවමින් සිටිති.
එම වත්තේ වතු කම්කරු නිවාස 10 ක් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදි නායයාමේ අවධානමට ලක්වීම නිසා එහි පදිංචිව සිටි පුද්ගලයන් 29 කගෙන් සමන්විත පිරිසක් එකී අවදානම් නිවාසයන්ගෙන් ඉවත් කරන ලද අතර, ඔවුන් අවතැන්ව දැනට මෙසේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නැවතී සිටිති.
තමන් තාවකාලිකව නැවැතී සිටින එම විවෘත ගොඩනැගිල්ලේ සාරි රෙදිවලින් කාමර වෙන්කර ගෙන සිටින බවත්,මෙහි සිටින පිරිසට වරින්වර බෝවෙන රෝග පවා සෑදෙන බවත් එමෙන්ම වැසිකිළි පහසුකම් පවා ප්‍රමාණවත් පරිදි නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.
කුඩා ළමුන් සමග එකම ස්ථානයේ එකට රැඳී සිටීම නිසා මේවනවිට විවිධ ගැටලු රැසකට තමන් මුහුණ පා සිටින බවත්, සනීපාරක්ෂක කටයුතු සිදු කර ගැනීමේදීද ගැටලු වලට ලක්ව සිටින බව වතු කම්කරුවෝ සඳහන් කරති.
නිවාස ආපදාවට ලක් වු දිනවල සෑම වගකියයුතු අංශයකම නිලධාරීන් මෙන්ම වතුකරයේ දේශපාලනඥයන් පැමිණ තමන්ගේ දුක සැප විමසා අවශ්‍ය පහසුකම් සපයා දුන් බවත්, එම කාලයේදි තමන්ට ස්ථීර නිවාස වෙනත් ස්ථානයකින් සකස් කොට දෙන බවට එම දේශපාලනඥයන් පොරොන්දු වු බවද ඔවුහු පවසති.
එහෙත් මේ වනවිට තමන්ට නිවාස සකස් කර දීමට කිසිඳු වතුකරයේ දේශපාලනඥයෙකු ඉදිරිපත් නොවෙමින් සිටින බවත්, එබැවින් තමන්ට ආරක්ෂිත ස්ථානයක නිවාස සකසා දෙන ලෙස වගකියයුතු අංශවලින් එම වතු කම්කරුවෝ ඉල්ලා සිටිති.
ශාන් හුලංනුගේ