යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන තම රජය යටතේ සිදු කල බවටත් රැකියාවක් නොමැති දුප්පත් සෑම පවුලක් වෙනුවෙන්ම රජයේ රැකියාවක් ලබා දීමටත් ගොවි ණය කපා හැරීම හා පොහොර නොමිලේ ලබා දිමට කටයුතු සිදුකරන්නේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනරැළිය අද (28) උතුරු පළාතේ සංවිධානය කොට තිබු අතර ඉන් එක් රැළියක් වවුනියව චිල්රන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගොඨාභය රාජපක්ෂ මහතා ,
“මේ වෙනකොට අපි මේ රටේ සියලු ජනතාවගේ අනාගතය වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියනවා. මේ රටේ වැඩිම ජනතාවක් ජීවත් වෙන්නේ ග්රාමීයව. ඒ වගේම වැඩි ජනතාවක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. අද මෙතන වර්ෂාව නොතකා රැස්වෙලා ඉන්නෙත් කෘෂිකර්මාන්තයේ නියලුණු අය.
අපි අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පැහැදිලිව කෘෂිකර්මාන්තය ඉහළට ගන්නට ගොවියා නඟා සිටුවන්නට පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කරල තියනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දුප්පත් කමින් පෙලෙන ජනතාව නඟා සිටුවිමටයි. විශේෂයෙන්ම මේ පළාත්වල ජනතාවට බලපානවා මේ ජනතාව ඉහළට ගන්නට අපි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල තියනවා. ඒ නිසාමයි අපි පොහොර නොමිලේ ලබා දෙන්න තීරණය කළේ . ඒ වගේම ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට අපි තීරණය කරල තියනවා .
මේ ප්‍රදේශවල ජල ගැටලුවක් තියනවා. අපි මේ ප්‍රදේශවල වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පෙන්වා දී තිබෙනවා පසුගිය රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම ප්රමුඛත්වයක් දුන්නේ නැහැ. නමුත් අපි ඒ දේ දෙනවා. අද ලෝකයේ අඩු වියදමකින් වැඩි ආදායම් ලබන්නට හැකි මාර්ග ඔනෑ තරම් තියනවා අපි රජයක් හැටියට මේ තාක්ෂණය ඔබලාට ලබා දෙන්න පියවර ගන්නවා.
ඒ වගේම මේ පළාත්හි දුප්පත් පවුල් වෙතට ආදායමක් නැති පවුල් සිටිනවා අපි එවැනි පවුල් වෙතට විශේෂයක් සේ සලකා එක් පවුලකට එක රජයේ රැකියාවක් හෝ ලබා දෙන්නට වැඩසටහනක් තියනවා. ඒ වගේම අපි ඔබලාට සාමයෙන් ජීවත් ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නු අය. සාමය නැති තරපු අය නෙමෙයි අපි සාමය ඇති කරපු අය.
මේ පළාත්හි ජීවත් වෙන දෙමළ ජනතාවටත් මම යමක් කියන්න කැමතියි. ඔබලාට යම් කිසි අය විසින් අතීතයේම ජීවත් කරවන්න උත්සාහ කරනවා. නමුත් මම ඔබලාට අනාගතය පෙන්නන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් වැඩපිළිවලක් තියනවා. රැකියාවක් අධ්‍යාපනයක් වෙනුවෙන් වැඩපිළිවලක් අපි ඉදිරිපත් කරලා තියනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.