කොවිඩ්-19 වෛරස පරීක්ෂණ සාම්පල රැගෙන යන ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් වාහනයකට මියන්මාරයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එම ප්‍රහාරයෙන් වාහනයේ රියදුරු මිය ගොස් රජයේ නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබේ.
වයඹදිග රඛයින් ප්‍රාන්තයේ මින්බියා නගරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් සෝන් වින් මාං මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළේය. රඛයින් ප්‍රාන්තය සඳහා වෙනම පාලනයක් ඉල්ලා සටන් වදින ඉස්ලාමීය බෙදුම්වාදී ත්රස්තයන් හෙවත් රඛයින් හමුදාව ලෙස ප්‍රකට කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව සැක කෙරෙයි.
"මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් අප සේවකයෙකු මිය යාම පිළිබඳව කනගාටුවට පත්වෙනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (21දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ අධ්යක්ෂ පූනම් කේත්‍රපාල් සිං පවසා සිටියේ, "සෞඛ්‍ය ශ්‍රම බලකායට එරෙහි සියලු ආකාරයේ කායික, වාචික හෝ මානසික ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා" යනුවෙනි.
"මෙම සිදුවීම යළිත් වරක් ජීවිත බේරාගැනීම වෙනුවෙන් කටයුතු කරන අපගේ කොරෝනා රණශූරයන් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් සෞඛ්‍ය ශ්‍රම බලකායන් මුහුණ දෙන අතිශය දුෂ්කරතාවන් පිළිබඳව අවධානය යොමු කරවනවා" යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.
මහලේකම්වරයා මියගිය අයගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි. සිද්ධිය පිළිබඳව පූර්ණ හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.