චීනයේ, වූහාන් හි හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළේ නව කොරෝනා වෛරසය පැතිරීම සඳහා අවස්ථාවක් තිබිය හැකි නමුත් එහි වෛරසය ඇති වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ රුසියානු ජාතික ව්ලැඩිමීර් ඩෙඩ්කොව් පවසයි.
"වෛරසය ආරම්භය වෙළෙඳ පොළේ බවට පරිපූර්ණ සාක්ෂි නැහැ. එය එතැන සිදු වූ බවට නිශ්චිතවම කිව නොහැකියි. වෛරසය එහි ආරම්භ වූ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. සමහර විට වෛරසය වෙනත් ස්ථානයක මතුවී, මෙහි පැතිරෙන්න ඇතිට ඇති බව උපකල්පනය කරන්න පුළුවන්." ඩෙඩ්කොව් ස්පුට්නික් පුවත් සේවය සමගම සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ඩෙඩ්කොව් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් වසංගත රෝග විද්‍යා හා ක්ෂුද්රජීව විද්‍යා ආයතනයේ විද්‍යාත්මක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂවරයාද වෙයි.
හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ මුල් පොකුරක් හා සම්බන්ධ වී ඇති බව සොයා ගත් නමුත්, විද්‍යාඥයන් තවමත් බෝවන රෝගයේ ආරම්භය පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹ නැති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පිරිස වූහාන් හි ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර, ආසාදන පැතිරයාමේ මුල් අවධියේදී කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කළ රෝහල් සහ මුල් පොකුරු ආසාදනවලට සම්බන්ධ වෙළෙඳ පොළවල්ද ඊට ඇතුළත්ය.
එසේම කොරෝනා වෛරසය කාන්දු වූ බවට චෝදනා ලැබ සිටි වූහාන් හි වෛරස් විද්‍යා ආයතනයටද මෙම කණ්ඩායම පසුගියදා පැමිණියේය. ඩෙඩ්කොව් සංචාරයෙන් පසුව එතැනින් වෛරසය කාන්දු වීම පිළිබඳ න්‍යායද ප්‍රතික්ෂේප කළේය.
"එය හොඳින් සංවිධානය වී ඇති ආයතනයක්. ඔවුන් විවේචනය කළේ කවුරුන්දැයි මා දන්නේ නැහැ. ඒ රසායනාගාරය පරිපූර්ණ ලෙස සන්නද්ධව පවතිනවා. එතැන් සිට යමක් කාන්දු විය හැකි යැයි මට සිතීම දුෂ්කරයි" ඩෙඩ්කොව් පැවසීය.
මෙම උපකල්පන ව්‍යාජ කටකතා බවත් ආයතනයේ කාර්ය මණ්ඩලයේ හෘදය සාක්ෂිය සම්පූර්ණයෙන්ම පැහැදිලි බවත් පවසමින් වූහාන් වෛරස් විද්‍යා ආයතනය පසුගිය පෙබරවාරියේ විවෘත ලිපියක්ද නිකුත් කළේය.