කොරෝනා වෛරසයේ මූලාරම්භය වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කාන්දු වූවක් බවට කරන ප්‍රකාශ ලොව පුරා සිටින විශේෂඥයන් රැසක් ප්‍රතික්ෂේප කර ඇති අතර, SARS-CoV-2 බොහෝදුරට ස්වභාවධර්මයෙන් ආරම්භ වූවක් බව ඔවුහු නැවත නැවත අවධාරණය කරති.
එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ, ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ වෛරස් විශේෂඥයන් 21 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් විවෘත ප්‍රවේශ පර්යේෂණ ගබඩාව වන සෙනෝඩෝ හි ප්‍රකාශයට පත් කරන ලද "SARS-CoV-2: විවේචනාත්මක සමාලෝචනයක්" යන පූර්ව මුද්‍රිත සමාලෝචනයේදී විද්‍යාගාර කාන්දුවක් පිළිබඳ න්‍යායන් සාක්ෂි මත පදනම් නොවී වෙනත් රටවල් කළ චෝදනාවන් බව කියා තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 හි වසංගත විද්‍යාත්මක ඉතිහාසය කලින් කොරෝනා වෛරස් පැතිර යාම හා සැසඳිය හැකි අතර ඒවා සියල්ලටම සත්ත්ව විද්‍යාත්මක සම්භවයක් තිබී බවයි.
"මිනිසාට වැලඳුණු වෛරස්වලින් අතිමහත් බහුතරයක් සලකා බැලුවොත්, පෙර පැවති සියලුම මානව කොරෝනා වෛරස්වලට සත්ව විද්‍යාත්මක සම්භවයක් තිබෙනවා. SARS-CoV-2 හි හදිසි අවස්ථාව මේ පූර්ව සත්ත්ව විද්‍යාත්මක සිදුවීම්වල ලක්ෂණ කිහිපයක් දරනවා" යනුවෙන් සඳහන් කරමින්, SARS-CoV-2 සහ 2003 දී සාස් පැතිර යාමට හේතු වූ SARS-CoV අතර පැහැදිලි සමානකම් ඇති බව අවධාරණය කරයි.
ඒ අනුව මෙම විශේෂඥයන් විසින් විද්‍යාගාර කාන්දුවීමේ න්‍යාය බැහැර කරමින් පවසන්නේ, "නව වෛරසයකින් වෙන්ව කාන්දුවීමක් නිසා මීට පෙර කිසිදු වසංගතයක් සිදුවී නැහැ. ඒ වගේම කොවිඩ්-19 වසංගතයට පෙර වූහාන් හෝ වෙනත් රසායනාගාරයක් SARS-CoV-2, හෝ පූර්ව වෛරසයට ආසන්නව ඇති ඕනෑම වෛරසයක් මත වැඩ කිරීම ගැන කිසිදු දත්තයක් නැහැ." යනුවෙනි.
ටියුලේන් වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්රජීව විද්‍යාව හා ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ගැරී උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විද්‍යාගාරයකින් එය කාන්දු නොවූ බවට ඔබට ප්‍රබල තර්කයක් ඉදිරිපත් කළ හැකි බවයි.
පසුගිය සඳුදා තවත් විශේෂඥයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ලැන්සෙට් හි ලිපියක් පළ කරමින් කියා සිටියේ, SARS-CoV-2 බොහෝ දුරට ආරම්භ වූයේ සොබාදහමෙන් මිස රසායනාගාරයකින් නොවන බවයි.