කොවිඩ්-19 වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ යුරෝපීය රට ලෙස ඉතාලිය, එක්සත් රාජධානිය අභිභවා ගිය අතර, නිවාඩු සමය තුළ වෛරසය පැතිරීම වැළැක්වීමට උත්සාහ කරන ලෙස අගමැති ගුසෙප් කොන්ටේගේ රජයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ගෙවීගිය දිනයේ වෛරසය ආශ්රිත දෛනික මරණ 484ක් ඉතාලිය තුළ වාර්තා වූ අතර, එය වෛරසය පැතිර යාමෙන් පසු සමස්ත මරණ සංඛ්‍යාව 64,520ක් දක්වා ඉහළ නංවා තිබේ. එක්සත් රාජධානියේ ගෙවීගිය දිනයේ දෛනික මරණ 144 ක් වාර්තා වූ අතර එය මුළු සංඛ්‍යාව 64,170ක් දක්වා ඉහළ නැංවීය. ඒ අනුව ඉතාලියට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව යන රටවලින් පමණි.
ඉතාලියේ වෛරසය සම්ප්‍රේෂණය වන වක්‍රය අඩුවෙමින්, නව රෝගීන්ගේ සුළු අඩුවීමක් දක්නට ලැබුණද, දෛනික මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛරස් වැළැක්වීමේ අංශ ප්‍රධානී ජියෝවානි රෙසා පසුගියදා පැවසීය.
වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන රටවල් අතර ඉතාලියද සිටින අතර, ආරම්භයේ සිටම මිලියන 1.84 කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ඉතාලියේ වෛරසය පිළිබඳ පළමු නිල ආසාදන සිද්ධිය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වුවත්, 2019 නොවැම්බර් තරම් ඈත කාලයකදී කොරෝනා වෛරසය රට තුළ සංසරණය වෙමින් පැවති බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රකාශයට පත්කර තිබේ.