එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝහල්ගත වීමේ සංඛ්‍යාව වැඩිවන විට, මරණ සංඛ්‍යාවේ තවදුරටත් වැඩිවීමක් සිදුවනු ඇතැයි එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් අනතුරු අඟවයි.
එක්සත් ජනපද කොරෝනා වෛරසයේ සමස්ත ආසාදිතයන් මිලියන 8 සීමාව පසුකර තිබුණේ, බ්‍රහස්පතින්දා නව ආසාදන 63,000කට වඩා වාර්තා කරමිනි. එමෙන්ම වෛරසය ආශ්රිත මරණ 218,500ක් ඉක්මවා තිබේ.
"මම රෝගීන් සංඛ්‍යාව ගැන පමණක් නොවෙයි, රෝහල් ගතවීම් ගැනද අවධානය යොමු කරනවා. මක්නිසාද යත් එයින් ඇඟවෙන්නේ මිනිසුන් සැබවින්ම දරුණු ලෙස රෝගාතුර වී ඇති බවයි. ඔවුන් රෝහලේ සිටිය යුතු බවයි. එම වක්‍රය යළිත් ආරම්භ වී තිබීම ඉතාම කනගාටුදායකයි"කොලින්ස් පැවසීය. "අවාසනාවකට මෙන්, එයින් අදහස් වන්නේ සෑම දිනකම සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දැකීමට අපට යළිත් සිදුවන බවයි. අපට වඩාත්ම වැළැක්වීමට අවශ්‍ය දෙය වන්නේද මෙයයි."
කොවිඩ්-19 පැතිරීම සීමා කිරීම සඳහා තමා විසින් කුමක් කළ යුතුදැයි තමන්ගෙන්ම විමසන ලෙස කොලින්ස් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
"වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තමා පෞද්ගලිකව කුමක් කළ යුතුය යන්න ජනතාවට තමන්ගෙන්ම විමසීමට මෙය හොඳ අවස්ථාවක්. 'සීතල කාලගුණය සහ මිනිසුන් ගෘහස්ථව සිටින කාලය අප ඉදිරිපිට දිග හැරෙන බැවින්, තවත් ආසාදන සීමා කිරීමට වග බලා ගැනීම සඳහා මට කුමක් කළ හැකිද?' කියා ඔබම සිතන්න. එසේ නොවුණහොත් එම වක්‍ර වැරදි දිශාවට ඉහළට ගමන් කරාවි" කොලින්ස් පැවසීය.
"අප සිටින තැන ගැන දුක් වීමට බොහෝ හේතු තිබෙනවා" ඔහු පැවසීය. "මෙය වසර 100කට ආසන්නයේ සිදු වූ වඩාත්ම විනාශකාරී ගෝලීය වසංගතයයි. නමුත් එය එක්සත් ජනපදයේ බොහෝ පුද්ගලයින්ට සහ පවුල්වලට හානි කර ඇති ආකාරය සැබවින්ම හද කම්පා කරවනසුලුයි. එය සැබවින්ම ඛේදජනක තත්ත්වයක් වන අතර, අපට හැකි සෑම දෙයක්ම අප දැන් දැන්ම කළ යුතුයි." කොලින්ස් වැඩිදුරටත් පැවසීය.