නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල දැනටමත් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ඊයේ (05දා) අනතුරු ඇඟවීය.
"දෙවැනි රැල්ල දැනටමත් අප වෙත පැමිණ තිබෙනවා. එය ඉතාම කුරිරුයි" වේරන් මාධ්‍ය අමතමින් පැවසීය.
ප්‍රංශ ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් ප්‍රකාශයට පත්කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවීගිය දිනයේ ප්‍රංශය තවත් වාර්තාවක් අභිභවා යමින් පැය 24ක් තුළ නව ආසාදිතයන් 58,046ක් වාර්තා කර තිබේ.
"ප්‍රංශය මේ වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින යුරෝපීය රට බවට පත්වෙලා. ආසාදිතයන් මිලියන 1.65ක්" යැයි සෞඛ්‍ය ඒජන්සියේ අධ්යක්ෂ ජෙරෝම් සලමොන් එම මාධ්‍ය හමුවේදී පැවසීය.
වෛරසය මෙම අනුපාතයට දිගින් දිගටම පැතිරෙන්නේ නම් පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ල වඩාත් නරක හා දිගු විය හැකි බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා, දෙසැම්බර් මැද භාගය දක්වා වුවද ඒ තත්ත්වය පැවතිය හැකි බව කියා සිටියේය.
මේ තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ලොක්ඩවුන් පියවරයන්ට ගරු කරන ලෙසය. එසේ නොමැති වුවහොත් රෝහල්වල ධාරිතාවයේ ඉහළ අවදානමක් නොවැම්බර් මැද භාගයේදී ප්‍රංශයට අත්විඳීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කළේය.
නව කොරෝනා වෛරසය සඳහා රෝහල් ගත කර ඇති රෝගීන්ගේ සංඛ්‍යාව පැය 24ක් තුළ 892කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රහස්පතින්දා රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 28,403ක් සහ දැඩිසත්කාර ඒකකවල 4,221ක් සිටින බව එරට සෞඛ්‍ය ඒජන්සිය පවසයි. ප්‍රංශයේ සියලු ආසාදිතයන් රෝහල්ගත නොකරන අතර, වැඩිදෙනා නිවෙස්වලම නිරෝධායනයට ලක්කරයි. එමෙන්ම මේ වනවිට එරට සමස්ත කොරෝනා මරණ 39,037ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ සතිය මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේද ගෝලීය වශයෙන් නව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ප්‍රංශය බවය. "පසුගිය සතිය තුළ ආසාදිතයන් 275,000කට වඩා වාර්තා වී ඇති තිබෙනවා. එය ජනගහනය මිලියනයකට ආසාදිතයන් 4,200ක්. ඒ වගේම එය පෙර සතියට වඩා 27%ක වැඩිවීමක්" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා පැවසීය.